Sunday, May 11, 2025
Home » රක්වාන සුළුකන් සහ බෝයින් ප්‍රදේශයේ වන සංහාරය ගැන ඉක්මනින් නඩු පවරන්න

රක්වාන සුළුකන් සහ බෝයින් ප්‍රදේශයේ වන සංහාරය ගැන ඉක්මනින් නඩු පවරන්න

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දෙයි

by mahesh
December 22, 2023 1:00 am 0 comment

කහවත්ත - නිරෝෂණ පෙරේරා සහ රක්වාන - ඉන්දික කුමාර

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් ලෙස නම් කිරීමට නිර්දේශ කර ඇති රක්වාන තුනේ කණුව ප්‍රදේශයේ සුළුකන් සහ බෝයින් ප්‍රදේශයේ වන සංහාරය සම්බන්ධව ඉක්මනින් නඩු පවරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය.

පෙරේදා (20) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් මධ්‍යම පරිසර අධිකාරියට මේ බව දැනුම් දී තිබේ. ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් බවට පත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කර ඇති මේ වනාන්තර ඉඩම සුදු පාලකයන්ගේ කාලයේදීවත් විනාශ නොකළ බව ගම්වාසීහු පවසති.

ජල උල්පත්වල පෝෂක කලාපයක් ලෙස මේ වන සංහාරය කරන ප්‍රදේශය සැලකේ. ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ඉඩම්වල අයිතිය ඇතැයි පවසමින් මෙලෙස වන සංහාරයක යෙදී සිටින බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.

සිංහරාජ වනාන්තරයේ ආරක්ෂාවට දෙල්වල වලංකන්ද රක්ෂිතයට යා කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති මේ ඉඩම් ඉතා ඉක්මනින්ම පවරා ගත යුතු බවත්, එසේ නොවුණොත් කැලෑව විනාශ වීම වැළැක්වීමට නොහැකි බවත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් ජී. එල්. ඩබ්. ඒ. ප්‍රතිභා මහත්මිය විසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දී තිබේ. එහිදී වැඩිදුරටත් ඇය මෙලෙස ද පැවසුවාය.

“ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අයත් ඉඩම් කට්ටි 21ක් සිංහරාජයේ පරිවාර රක්ෂිත ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට යෝජනා වී තිබෙනවා. ඉඩම් කට්ටි තුනක් පැවරී ඇති බලතල අනුව පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. ඒත් කැලෑ එළිකිරීම ගැන නීතිමය පියවර ගැනීමේ බලතල ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියට. මේ ගැන කිහිප වරක් එම අධිකාරියට දැනුම් දුන්නා. පසුගිය මාස කිහිපයේ අක්කර 15කට වඩා සුක්ෂ්ම ලෙස කපා එළිපෙහෙළි කර තිබෙනවා. ඊට පෙර අක්කර 15ක් එළිපෙහෙළි කර වනය කපා තේ වගා කර තිබෙනවා. මෙවැනි සංවේදී පරිසර පද්ධති විනාශ කිරීමට හෝ වගාවන් සඳහා එළිපෙහෙළි කිරීමට නීතිමය අයිතියක් නැතත් ඉතා රහසිගත ලෙස මෙය සිදු කරනවා. වසර 14ක පමණ සිට මේ වන විනාශය නැවැත්වීමට නීතිමය ක්‍රියාමාර්ග ගෙන නෑ. මධ්‍යම පරිසර අධිකාරිය මේ සම්බන්ධව ඉක්මනින් නඩු පැවරිය යුතු බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා තීරණය කළා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT