මෙරට බංග්ලාදේශ තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කොමදෝරු එම්. මොනිරුස්සමාන් මහතා පෙරේදා (20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමු විය.
මේ හමුව අතරතුර ආරක්‍ෂක ලේකම්වරයා නව පත්වීම සම්බන්ධයෙන් කොමදෝරු මොනිරුස්සමාන් වෙත උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. බංග්ලාදේශය සමඟ පවතින සමීප ද්වි-පාර්ශ්වික සබඳතාව සහ ආරක්‍ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් හමුදා පුහුණු හුවමාරුව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් අදාළ වන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩිදියුණු කිරීම කෙරෙහි ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ඓතිහාසික සබඳතාව පිළිබඳව ද සිහිපත් කළ ආරක්‍ෂක ලේකම්වරයා කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහා දෙරටෙහි කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ආරක්‍ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ කලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීමට තිරසර සංවාද සහ හුවමාරු වැඩසටහන්වල වැදගත්කම ද ඔවුන් දෙදෙනාම අවධාරණය කළහ. මේ හමුව අවසානයේදී දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. මේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි විය.