Saturday, May 10, 2025
Home » නවීන තාක්ෂණයෙන් අලි-මිනිස් ගැටුම අවම කිරීමට සැලසුම්

නවීන තාක්ෂණයෙන් අලි-මිනිස් ගැටුම අවම කිරීමට සැලසුම්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

අලි – මිනිස් ගැටුම අවම කරගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඇමැතිනිය මේ බව පැවැසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනිය මෙලෙස ද කීවාය.

“අධි ආලෝක ධාරා, අධි ශබ්ද තරංග සහ ඩ්‍රෝන යානා වැනි නවීන තාක්ෂණය යොදා ගනිමින් ක්‍රියාත්මක වන මේ නියමු ව්‍යාපෘති අනුරාධපුර, පුත්තලම, අම්පාර ඇතුළු අලි මිනිස් ගැටුම් බහුලව ඇති ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිශානතිය වෙලා තිබෙන්නේ වනය ආරක්ෂා කිරීම. මම ඇමැති ධුරය භාරගැනීමෙන් පසුව දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නව වැඩපිළිවෙළකින් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අනුව වනය මායිමේ සිටින ජනතාවට වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහනයක් දීමට තීරණය කර තිබෙනවා.

වනය නිසාම ඔවුන්ගේ ජීවිකාව ඉදිරියට ගෙන යෑමට හැකියාව ලැබුණොත් ඔවුන්ම වනය ආරක්ෂා කරනවා. වනය මායිමේ ජීවත් වන ජනතාවට වනයෙන් ගත හැකි ද්‍රව්‍ය තිබෙනවා. ඔවුන්ට ඒවා ගැනීමට අවසර දුන්නොත් වනය ද ආරක්ෂා කර ගන්න පුළුවන්. විශේෂයෙන් හරිත සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ද විශාල වැඩ කොටසක් කිරීමට හැකියාව තිබෙනවා. පරිසරය අලෙවි කළොත් මේ රටට ඩොලර් විශාල ප්‍රමාණයක් ගෙන එන්න පුළුවන්.

ඒ නිසා අපි හිතන විදිහ වෙනස් කරමින් කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 29%ක්ම වනය. මෙයින් උපරිම ප්‍රයෝජන ගැනීමටත්, හානි වූ වනය ආරක්ෂා කරගැනීමට අලුතින් ගස් සිටුවීමටත් කටයුතු කරනවා. රටේ පවතින කැලෑව වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය පැළ දීමටත් කටයුතු කරනවා.

මාර්ග දෙපසත් ගස් වගා කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ පැළ දීමේ ව්‍යාපෘතියක් රජයක් විදිහට ක්‍රියාත්මක කරනවා. 2022 වසරේ අමාත්‍යාංශය රුපියල් මිලියන 1670ක ආදායමක් ලබා තිබුණා. මේ වසරේ මේ දක්වා කාලයේ පමණක් රුපියල් මිලියන 4700ක ආදායමක් ගැනීමට අමාත්‍යාංශයට හැකිවී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 135%කින් ආදායම වැඩි කරගැනීමක් බව කිව යුතුයි.

අලි–මිනිස් ගැටුම රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. මේ පුංචි රටේ ජනගහනය මෙන්ම අලි ගහනයත් වැඩි වෙමින් පවතිනවා. විවිධ වාරි ව්‍යාපෘති හමුවේ අලිමංකඩ ඇහිරී ගොස් තිබෙනවා. ජනතාවගේ වගා කටයුතු නිසා අලි මංකඩ ඇහිරී ගොස් තිබෙනවා. ජනතාව ජීවත් වන ප්‍රදේශවලට අලින්ගේ පැමිණීම වැළැක්වීමට ලබන වසරේ අලුතින් කිලෝ මීටර් දහසක් පමණ අලි වැට ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.

එසේම බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින ශ්‍රමිකයන් 4000ක් පමණ අමාත්‍යාංශයේ ස්ථීර සේවකයන් ලෙස බඳවාගෙන ඇලි වැට ආරක්ෂා කරගැනීමේ රාජකාරි කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරනවා. මේ කටයුත්ත සාර්ථකව ක්‍රියාත්මක කළොත් අලි මිනිස් ගැටුමට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. මේ ආකාරයේ නොයෙකුත් ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් අලින්ගේ ජීවන වටපිටාව ද ආරක්ෂා කිරීමට ද කටයුතු කරනවා. එසේම අලි මංකඩ ඇති ජනතාවගේ ඉඩම් වෙනුවට වෙනත් විකල්ප ඉඩම් දීමටත් කටයුතු කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT