Home » ඉන්දියාවේ සංගීත තරගයකින් ජයගත් අසානිට උපන්ගමේදී හරසර
වසර 200ක ලංකා වතු ඉතිහාසය වෙනස් කරයි:

ඉන්දියාවේ සංගීත තරගයකින් ජයගත් අසානිට උපන්ගමේදී හරසර

by mahesh
December 22, 2023 1:00 am 0 comment

ගම්පොළ සමූහ - සුරංග දිල්හාන්

වසර දෙසීයක ලංකා වතු ඉතිහාසයේ දමිළ වතු දැරියක් ඉන්දියාවේ ප්‍රධාන සංගීත තරගයකට ඉදිරිපත් වී ජයග්‍රහණ ලැබීම මුල් කර ගනිමින් අසානි නමැති ළමා ගායිකාව ගම්පොළ නගරයේදී පිළිගෙන ඇගේ ගම වන නයාපානවත්ත වෙත රථ පෙළපාළියකින් කැඳවාගෙන ගියාය.

ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී ආයතනයක් සංවිධාන කර තිබූ සරිගමප නමැති මේ සංගීත තරගාවලියට රටවල් කීපයක ළමා ගායිකාවන් ඉදිරිපත් වී තිබුණ ද ඒ සඳහා ලංකාවේ ළමයින් දෙදෙනකු තේරී පත්වී තිබුණි. මොවුන් දෙදෙනාම ලංකාවට ගෞරවයක් ලබා දෙමින් ජයග්‍රහණ ලබා ඇත.

ඒ අතරින් යාපනයේ කිල්මිසා ගායිකාව එහි කිරුළ ජයග්‍රහණය කර ඇති අතර, ගම්පොළ නයාපානවත්ත පදිංචි අසානි නමැති දාහතර හැවිරිදි දියණිය තරගාවලියේ අවසන් වටය වනතුරු පැමිණ එහි දසදෙනා නියෝජනය කරමින් ත්‍යාග රැසක් දිනාගෙත තිබේ.

දියණිය ලංකාවට පැමිණීමෙන් පසු පිළිගැනීම වෙනුවෙන් ගම්පොළදී මේ උත්සවය සංවිධාන කර තිබුණි. ඇය මුලින්ම ගම්පොළ නගරයේ මලබාර් වීදියේ මුත්තුමාරි අම්මාන් කෝවිල වෙත පැමිණ ආශිර්වාදය ලැබීමෙන් පසු ගම්පොළ නගරය හරහා රථ පෙළපාළියකින් ඇගේ ගම වෙත රැගෙන යන ලදී. එහිදී ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය සභාව ඇතුළු පිරිස විසින් ඇය පිළිගැනීමෙන් පසු අටබාගේ විමලධර්ම මහා විද්‍යාලයේ ගුරු මණ්ඩලය ඇතුළු සිසු සිසුවියන් ඇය පිළිගන්නා ලදී.

මෙහිදි විදුහල්පති හිමිපාණන් විසින් ඇය ජාතියේ දියණියක් ලෙස ද නම් කරන ලදී.

අනතුරුව ඇය පුස්සැල්ලාව නගරය වෙත ගොස් එහි කෝවිල වෙත පුද පූජා පැවැත්වීමෙන් පසු නගරයේ සැරිසරා අනතුරුව පාර දෙක නගරය හරහා නයාපානවත්ත ඇගේ පාසල වෙත රැගෙන ගියේය. අසානිගේ මවුපියන් නයාපානවත්තේ කම්කරුවන් ලෙස රැකියාව කරන අතර, අසානි ඔවුන්ගේ එකම දියණියයි. නයාපානවත්ත විද්‍යාලයේ ඇය නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT