Home » පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරෙනවා

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරෙනවා

by mahesh
December 22, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (20) පැවති තරුණ නායකන්ගේ සේවය ඇගයීමේ අවස්ථාවට එක්වෙමිනි.

විවිධ ක්ෂේත්‍රවල කුසලතා දැක්වූ මෙරට තරුණ නායක නායකාවන් 23 දෙනෙකු ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් ලියෝ සමාජය මෙම ඇගයීම් උලෙළ සංවිධානය කර තිබුණි.

ඒ අනුව තෝරාගත් පාසල්වල ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් ද, ජාත්‍යන්තර ලියෝ සමාජ සභාපතිවරුන් සහ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් ද ඔවුන්ගේ විශිෂ්ට නායකත්ව කුසලතා වෙනුවෙන් මෙහිදී ඇගයීමට ලක්විය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය. ගෝලීය දේශගුණ විපර්යාස අවම කිරීමේ ප්‍රයත්නයන්හි දී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. මේ වන විටත් පරිසරය වෙනුවෙන් තරුණ ප්‍රජාව දක්වන කැපවීම අගය කරනවා.

සමාජ කටයුතුවලදී තරුණ පරපුර ලබා දුන් දායකත්වය අතීතයේ සිට වර්තමානය දක්වා විකාශනය වී තිබෙනවා. පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට පැවරෙන තීරණාත්මක කාර්යභාරය විශාලයි. වර්තමානයේදී පරිසරය පිළිබඳ තරුණයන් දක්වන අවධානය ඉතා වැදගත්. ගෝලීය දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමේ ප්‍රයත්නයන්හි දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට කිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සතුව පවතින අවස්ථාවන් ඉතා වැදගත්. හරිත හා නවීන ආර්ථිකයක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ දැක්ම ඉතා වැදගත්. අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමේදී මුහුණ දීමට සිදු වූ මූලික අභියෝග මෙන්ම තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා නිවැරදි වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටිනවා. රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා තරුණ තරුණියන්ට සිදු කළ හැකි කාර්යභාරය වැදගත්. තරුණයන්ගෙන් ලැබුණු සහයෝගයට ස්තුකි කරනවා. ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැඟීම වෙනුවෙන් ආණ්ඩුව සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිනවා.

මෙම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් විශේෂයෙන් බිනුජ අමරනායක මහතා ඇතුළු ලියෝ සමාජයට සාගල රත්නායක මහතා සිය ස්තුතිය පළ කෙළේය.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, ජාත්‍යන්තර ලියෝ සමාජ වැඩසටහන් උපදේශක ලසන්ත ගුණවර්ධන, උපකුලපතිවරුන්, විදුහල්පතිවරුන්,මාණ්ඩලික උපදේශකවරුන්, ලියෝ සමාජයේ උපදේශකවරුන්, පාසල්වල ප්‍රධාන ශිෂ්‍ය නායකයන් සහ ශිෂ්‍ය නායකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT