Home » නිවුන් දරුවන් බිහි කළ අහුන්ගල්ල මවගේ සිරුර මංකඩ වෙරළට ගොඩගසයි

නිවුන් දරුවන් බිහි කළ අහුන්ගල්ල මවගේ සිරුර මංකඩ වෙරළට ගොඩගසයි

by mahesh
December 22, 2023 1:00 am 0 comment

කරන්දෙණිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන

කුළුඳුලේම නිවුන් දරුවන් දෙදෙනකුට උපත දී දින 9කට පසු ලිපියක් ලියා තබා නිවෙසින් පලා ගොස් සිටි අහුන්ගල්ලේ මවගේ මළ සිරුර පෙරේදා (20) සවස බලපිටිය රජ්ජවත්ත මංකඩ වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමු වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල ගල්වෙහෙර පදිංචි 29 හැවිරිදි දෙදරු මවක වන භද්‍රාණි හර්ශනී කුරුවිට ආරච්චි නමැති කාන්තාවකි.

මරණය සම්බන්ධයෙන් ස්ථානීය මරණ පරීක්ෂණය බලපිටිය හදිසි මරණ පරීක්ෂිකා කේ. වගආරච්චි මහත්මිය විසින් සිදු කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේදී ඊයේ (21) බලපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.බී.එස්. දංගහවත්ත මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය. එහිදී මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් ඇය ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට ද කටයුතු කළාය. සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

මියගිය කාන්තාව නිවුන් දරුවන් දෙදෙනකුගේ මවක වන අතර, දැනට දින නවයකට පෙර ඇය මෙම නිවුන් පිරිමි දරුවන් දෙදෙනා බලපිටිය මූලික රෝහලේදී ප්‍රසූත කර ඇත. එම දරු ප්‍රසූතිය සීසර් ක්‍රමයට සිදු කර ඇති අතර, ඇයට දරුවන් ලැබී ඇත්තේ විවාහ වී වසර 06කට පසුවය.

ඇය පසුගියදා (18) රාත්‍රී නිවෙසින් පිටව ගොස් ඇති අතර, ඇගේ ස්වාමිපුරුෂයා ඇය පිළිබඳ තොරතුරු සොයා බැලුවත් ඒ සම්බන්ධයෙන් තොරතුරක් නොලද හෙයින් ඔහු අහුන්ගල්ල පොලිසියට පැමිණිලි කළේය.

20 වැනිදා සවස් වරුවේ බලපිටිය මංකඩ වෙරළ තීරයට කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබූ අතර, පොලිසිය මඟින් පැමිණිල්ල කළ අයට දැනුම් දීමෙන් පසු එම සිරුර තමාගේ භාර්යාවගේ බවට ස්වාමිපුරුෂයා විසින් හඳුනාගෙන ඇත. දරු ප්‍රසූතියේදී සිදු කළ සිසේරියන් සැත්කම නිසා ඇය වේදනාවෙන් පෙළුණු අතර, ඇය මෙසේ දිවි නසාගෙන ඇති බව ඔහු පවසයි.

තමන් නිවෙස පරීක්ෂා කිරීමේදී ඇය විසින් ලියා තිබූ ලියුමක් හමු වූ අතර, අධික වේදනාව දරාගන්න බැහැ තමන් දිවි හානි කර ගන්නා බව එහි ලියා තිබුණු බව ඔහු පොලිසියට පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT