Home » උ/පෙළ ටියුෂන් පන්ති-වැඩමුළු 29 මැදියම් රැයින් පසු තහනම්

උ/පෙළ ටියුෂන් පන්ති-වැඩමුළු 29 මැදියම් රැයින් පසු තහනම්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම මේ මස 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණ’ට පැවසීය.

විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම හා එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ජාලා මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම මේ මස 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. යම් අයකු හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කළහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශ්වය නීතිය කඩ කළ අයකු ලෙස වරදකරුවකු විය හැකි බව ද ජයසුන්දර මහතා පැවසුවේය. යම් අයකු හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙකී නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකිය.

011-2421111 පොලිස් මූලස්ථානය, 119 පොලිස් හදිසි ඇමතුම් අංකය, 1911 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය, 011-2784208 හෝ 011-2784537 පාසල් විභාග සංවිධාන අංශය යනාදියට පැමිණිලි කළ හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT