Home » පළාත් සභාවලට පොලිස් බලතලත් ඕනේ; මහින්ද පළාත් සභා සමුළු දෙකකදී කියයි

පළාත් සභාවලට පොලිස් බලතලත් ඕනේ; මහින්ද පළාත් සභා සමුළු දෙකකදී කියයි

by chanaka
December 22, 2023 12:23 pm 0 comment

ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසය සහ Peoples Foundation යන ආයතන එක්ව “අපේ අයිතීන් අපේ සම්පත් රැක ගන්නට අපේ පළාතේ පළාත් සභාව බලගන්නමු” යන තේමාව මුල් කොටගෙන සමුළුවක් ඊයේ(21) මහනුවර සීමා සහිත විවිධ සමූපකාර සේවා කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වූණි.

මෙම වැඩසටහන සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර, හිටපු පළාත් සභා මන්ත්‍රී රාජා උස් වැට කෙයියාව, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන සහ Peoples Foundation ආයතනයේ සභාපති එරික් හේරත් ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන සහ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගි විය.

මෙම සමුළුවේදී මහින්ද දේශප්‍රිය මහතා අදහස් දක්වමින් පවසා සිටියේ; ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පළාත් සභාව අත්‍යවශ්‍ය බවත් පළාත් සභාව මේ රටට අත්‍යවශ්‍ය නොවන බව කවුරුන් හෝ පවසන්නේ නම් ජනාධිපතිවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක්ද මෙරටට අත්‍යවශ්‍ය නොවන බවයි. එසේම මේ වන විටත් පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ජනතා සම්මතයකින් නොවන බවත් රාජ්‍ය නිලධාරීන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන බවයි. මේ නිසාම පළාත් සභාවේ යම්කිසි කටයුත්තක් ප්‍රශ්න කිරීමේදී එම ගැටලුවලට රාජ්‍ය නිලධාරීන් සෘජුවම වගකීම දරන්නැති බව සහ ජනතා නියෝජිතයන් සිටී නම් මෙම තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වන බව ඔහු වැඩි දුරටත් පැවසිය.

පළාත් සභාව වර්තමානයේ ක්‍රියාත්මක වන විට ඒ සඳහා කිසිදු ජනතා අදහසක් ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවත් එම නිසා කඩිනමින් ජනතාව විසින් පත් කරගන්නා ලද ජනතා නියෝජිතයින් පළාත් සභාවට පත්කර ගත යුතු බවත් බොහෝ පිරිස් වර්තමානයේදී පළාත් සභාව සුදු අලියා ලෙස ආමන්ත්‍රණය කරන අතර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අපතේ යන බව පවසමින් ජනතාව නොමග යවන බවත් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සඳහා රාජ්‍ය ආදායමෙන් සියයට එකක් හෝ වැය නොවන බවත් වැඩි දුරටත් පැවසිය.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසය සහ peoples foundation සංවිධානය එක්ව සංවිධානය කළ ‘අපේ අයිතීන් අපේ සම්පත් රැක ගන්නට අපේ පළාතේ පළාත් සභාව’ බලගන්නමු යන තේමාව යටතේ පැවති දෙවැනි සමුළුව වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සවස් කාලයේ වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම සමුළුව සඳහා ද මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන, Peoples Foundation ආයතනයේ සභාපති එරික් හේරත් සහ ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක දිනුක ලක්ෂාන් මහතා ඇතුළු එම දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන නියෝජිතයින් හා තරුණ තරුණියන් රැසක් සහභාගී විය.

මෙම වැඩසටහනේ ආරාධිත දේශනය ඉදිරිපත් කරමින් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ “කාන්තාවන් සහ තරුණ තරුණියන් දේශපාලනය සඳහා සක්‍රීයව සහභාගි විය යුතු බවත් වර්තමානයේ මැතිවරණ සඟවා තබා ඇති කාලයේ තුළදී මෙවැනි සමුළු සංවිධානය කිරීම තුළින් ප්‍රජාව පළාත් සභා සම්බන්ධව දැනුවත් කළ හැකි බවත්ය. එමෙන්ම රටේ දියුණුවක් ඇතිකරලීමට නම් පළාත් සභාවලට බලය බෙදා හරිමින් පළාත් අතර දියුණුවීමට තරගයක් ඇති කළ යුතු බව එතුමා වැඩිදුරටත් පැවසු අතර දකුණේ පළාත්වලට වඩා උතුරු නැගෙනහිර පළාත් තුළ මෙම පළාත් සභා ක්‍රමය නිසා දියුණුවක් දකින බවත් පරිපාලන බලතල පමණක් නොව පොලිස් බලතලවුවද පළාත් සභාවලට ලබාදෙන්නේ නම් ඒ සඳහා වුවද තමන් එකඟ වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT