Home » තෙල් සාත්තුවකට ගිය තරුණියට වින කැටූ කපුවා කපෝතියි

තෙල් සාත්තුවකට ගිය තරුණියට වින කැටූ කපුවා කපෝතියි

බරපතළ වැඩ ඇතුව වසර 20කට ඇතුළට

by mahesh
December 22, 2023 1:00 am 0 comment

අනුරාධපුර - උපාලි ආනන්ද

කන් ඇසීමේ දුර්වලතාවකට තෙල් සාත්තුවක් කර ගැනීමට දේවාලයකට ගිය විසි හැවිරිදි තරුණියකට තෙල් සාත්තුවක් කරන මුවාවෙන් ඇය බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි කපුවෙකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර විස්සක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය.

ඊට අමතරව මුදලින් රුපියල් පහළොස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසටද, විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක සිර දඬුවමට යටත් කෙරිණ.

ඊට අමතරව පැමිණිලිකාරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකාර කපුවාට නියෝග කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවමක් විත්තිකරුට නියම කරනු ලැබුවාය. මෙසේ දඬුවම් නියම වූයේ පේරාදෙණිය කැලියල් පිටිය අංක 135/බී ලිපිනයේ කළුගමුවේ උයන්වත්තේගෙදර රොෂාන් නැමති මම්පිටිය දේවාලයේ කපුවෙකුටය. විත්තිකරුට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණසැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

2014 වසරේ ජූලි මස 26 දා හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බල සීමාවට අයත් වෙලම්බොඩදී විත්තිකරු මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364 (1) වගන්තිය ප්‍රකාරව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර නීතිපතිවරයා විසින් 2018 ජූනි මස 11දා විත්තිකරුට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා මහනුවර මහාධිකරණයට යොමු කරනු ලැබීය. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධිනීතිඥ තාරකා කෝදාගොඩ මෙනවිය පෙනී සිටි අතර විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිමල් සුරවීර මහතා පෙනී සිටියේය. දවුලගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT