ජනිත් ලියනගේ ‘ඒ’ කාණ්ඩයේ තරගවලදී පෙන්වූ සිය හොඳම පෞද්ගලික දස්කම් හේතුවෙන් අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයකින් කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 138ක ජයක් හිමි කර ගැනීමට රාගම ක්‍රීඩා සමාජය සමත් විය.
පී. සරා ඕවල් පිටියේ පැවති මේ තරගයේදී පළමුව පන්දුවට පහරදුන් රාගම ඉනිමේදී අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් පන්දු 126කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 126ක් රැස් කිරීමට සමත් වූ ජනිත් ලියනගේ පන්දු යැවීමේදී ඕවර 8.1කදී ලකුණු 29කට කඩුලු 5ක් බිඳ දැමීමට ද සමත් විය. 28 හැවිරිදි ජනිත් ‘ඒ’ කාණ්ඩයේ තරග බිමේ රැස් කළ ඉහළම ඉනිම මෙන්ම හොඳම පන්දු යැවීම ද ඊයේ වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනිණි.
පන්දුවට පහරදීමේදී තෙවැනි කඩුල්ලට ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක සමඟ එක්ව ලකුණු 201ක සබඳතාවක් ගොඩනැඟීමට ද ජනිත් සමත් විය. මධුෂ්ක ලකුණු 84ක් රැස් කළ අතර, මේ ඉනිම හේතුවෙන් රාගම පිල ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 296ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය කුරුණෑගල කණ්ඩායමට ඕවර 37.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 158ක් පමණි.
මේ තරගයේදි කුරුණෑගල පිල වෙනුවෙන් නවීන් ප්‍රනාන්දු ලකුණු 63ක් රැස් කළ අතර, චමින්ද බණ්ඩාර කඩුලු 4ක් සහ සමීර සඳමාල් කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූහ.
එස්එස්සී යළිත් එක වෙයි
මේ අතර ඊයේ පැවති තවත් තරගයකදී ඒස් කැපිටල් පිල පරාජයට පත් කරමින් තම සිවුවැනි ජය වාර්තා කළ එස්එස්සී ක්‍රීඩකයෝ යළිත් ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූහ.
එස්එස්සී පිටියේ පැවති තරගයේදී එස්එස්සී පිල ලකුණු 262ක් රැස් කළ අතර, ඒස් පිලට ඕවර 38කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 176ක් පමණි.
එස්එස්සී පිල වෙනුවෙන් පිට පිට අර්ධ ශතක 3ක් රැස් කර සිටි දසුන් ශානකට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 28ක් පමණි. නායක චරිත් අසලංක ලකුණු 64ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 13ක සීමාවිය.
ඊයේ පැවති සෙසු තරගවලදී ටැමිල් යූනියන් පිල කඩුලු 3කින් ගුවන් හමුදාව, ගාල්ල කඩුලු 5කින් සෙබස්තියනයිට්ස්, මීගමුව කඩුලු 7කින් පොලිසිය, සීසීසී කඩුලු 2කින් මුවර්ස්, යුද හමුදාව කඩුලු 4කින් කැන්ඩි කස්ටම්ස්, බ්ලූම්ෆීල්ඩ් කඩුලු 2කින් පාණදුර සහ බදුරලිය ලකුණු 15කින් එන්සීසී ක්‍රීඩා සමාජ පරාජය කළේය.
මේ තරගවලදී කඩුලු 4 බැගින් බිඳ දමමින් දස්කම් දැක්වීමට රවීන් ද සිල්වා (ටැමිල්), මල්ෂ තරුපති (මුවර්ස්), සීක්කුගේ ප්‍රසන්න (යුද) සහ චමත් වික්‍රමසිංහ (බ්ලූම්ෆීල්ඩ්) සමත් වූහ.