කරාටේ දෝ – ඔටෝ මොබයිල් අතුරු කමිටු විසුරුවාහැරීමේ සූදානමක්
මෙතෙක් නිලවරණ නොපැවැත්වූ ක්‍රීඩා සංගම් 5ක නිලවරණ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ වහාම ක්‍රියාත්මකවන පරිදි පැවැත්වීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ගැසට් පත්‍රයකට අත්සන් තබයි. එම අති විශේෂ ගැසට් නිවේදනය අද හෙටම ප්‍රසිද්ධ වන අතර, ඒ අනුව ඉදිරි සතියේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් නිලවරණ කමිටු පත් කිරීම හා නාමයෝජනා කැඳවීම ආරම්භ කෙරේ.
ඒ අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය, ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, දුනු විදීමේ සංගමය, බ්‍රිජ් සංගමය හා රෝල කේටින් යන ක්‍රීඩා සම්මේලන නිලවරණ පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇත.
මේ අතර, හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ නියෝගයෙන් දැනට අතුරු කමිටු මඟින් ක්‍රියාත්මක කරාටේ දෝ හා ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගම්වල අතුරු පාලන කමිටු විසුරුවා එම සංගම්වල නිලවරණ පැවැත්වීමේ හැකියාව ලබන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එම සංගම්වල හිටපු නිලධාරීන් අතුරු කමිටු පත් කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිස ඇති හෙයින් අතුරු කමිටු විසුරුවා හැරීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කොට ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු ගැටලුව විසඳූ ආකාරයට කරාටේ දෝ හා ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගම්වල ප්‍රශ්න නිරාකණය කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය, ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, දුනු විදීමේ සංගමය, බ්‍රිජ් සංගමය හා රෝල කේටින් යන සම්මේලන නියමිත කාලයේදී නිලවරණ පවත්වා නොමැති හෙයින් ඔවුන්ට පසුගිය ඔක්තේබර් 31 දක්වා සහන කාලයක් ද ලබාදී තිබූ අතර, එදිනට පෙර නිලවරණය පවත්වන ලෙස අවසන් නිවේදන නිකුත් කර තිබිණි. එහෙත් එම සංගම්වල හිටපු නිලධාරීහු නිලවරණ පැවැත්වීමට අපොහොසත් වූහ.
මේ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් තහනමට ලක්කොට තිබූ සැම්බෝ සම්මේලනය, ලංකා පවර් බෝට් සංගමය, ජුජිට්සු ක්‍රීඩා සම්මේලනය, යුනිෆයිට් ක්‍රීඩා සංගමය හා බෝල් රුම් ඩාන්ස් සංගමය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි බොහෝ ක්‍රීඩා සංගම් වාර්ෂික අය – වැය වාර්තා සකසා වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීමට අපොහොසත් වන හෙයින් රජයේ විගණකාධිපතිවරයාගෙන් ගිණුම් වාර්තා අනුමත කර ගැනීම අපහසු වේ. එම ලියාපදිංචි ක්‍රීඩා සංගම් වෙත සහන කාලයක් ලබාදීමට අති විශේෂ ගැසට් පත්‍රයක් ද පළ කෙරිණි. එබැවින් එම ක්‍රීඩා සංගම් කාලය දීර්ඝ කිරීමේ සහන කාලය තුළ ගිණුම් විගණනය කොට වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීමත්, නිලවරණ කටයුතු සම්පූර්ණ කොට නිලධාරීන් පත් කර ගැනීමත් ලබන වසරේ අනිවාර්ය කොට තිබේ.