සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වීමෙන් මාස 13කට පසු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක යළි ක්‍රිකට් පිටියට පිවිසෙයි. දැන් පැවැත්වෙන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර 50 ක්‍රිකට් තරගාවලියේදී කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්එස්සී) පිලට එක්වෙමින් ධනුෂ්ක ගුණතිලකට යළි තරග බිමට පිවිසීමේ අවසරය හිමිව ඇත.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලක අද මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ පැවැත්වෙන එස්එස්සී හා බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගයේදී හෝ 28 වැනිදා බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැත්වෙන එස්එස්සී – බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේදී යළි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන බව එස්එස්සී ඉහළ නිලධාරියෙක් ‘දිනමිණ’ට පැවසීය.
“ධනුෂ්කට සියලු අවසරය හිමිව තිබෙනවා. දැන් ඔහු නිදහස් ක්‍රීඩකයෙක්. අද තරගයට ඔහු එක් කිරීමට බලනවා. අද ක්‍රීඩා කළේ නැත්නම් 28 වැනිදා තරගයට ඔහු අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා” එම ප්‍රකාශකයා පැවසීය.
ධනුෂ්ක ගුණතිලක කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්එස්සී) ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි අතර, එම ස්ථානයේම පන්දුවට පහර දෙනු ඇතැයි එම එස්එස්සී ඉහළ නිලධාරියා සඳහන් කළේය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තරුණියකට ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා 4ක් යටතේ ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගැණුන අතර, පසුව ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය. ඒ සමඟම ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.
ඔහුට එරෙහිව ඔස්ට්‍රේලියාවේ දී එල්ල වූ අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද ස්වාධීන විමර්ෂණ කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුව එසේ සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය. මේ තීරණය එස්එස්සී විනය කමිටුව මඟින් විධායක සභාවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන ඇත.
2022 වසරේ ඔස්ට්‍රේලියාවේ ඇතිවූ සිද්ධියත් සමඟ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට ධනුෂ්ක ගුණතිලකගේ සියලු ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.