ශ්‍රී ලංකාවට අලුතින් පත් වී පැමිණි ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දීමෙන් අනතුරුව සේයාරුවකට පෙනී සිටි අයුරු. සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වැඩබලන විදේශ කටයුතු ඇමැති රමේෂ් පතිරණ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුද මෙහි වෙති.
ඉන්දු-ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙන්ම වෙළෙඳ, ආයෝජන, බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර රැසක දෙරට අතර පවතින සමීප සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවාගැනීමට කැප වන බව ඉන්දීය නව මහකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. දෙරට නායකයන් එකඟ වූ දැක්ම අනුව කටයුතු කිරීම තම අපේක්ෂාව බවද සඳහන් කළ හෙතෙම මේ සහයෝගිතාව රටවල් දෙකේ අන්‍යෝන්‍ය සමෘද්ධිය, ප්‍රගතිය සහ කලාපීය ස්ථාවරත්වයට හේතු වනු ඇතැයිද විශ්වාසය පළ කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආර්ථික, සංස්කෘතික සහ සමාජීය සබඳතා වඩා ශක්තිමත් කරගැනීමට කැප වන බව ජනාධිපති කාර්යාලයේ තැන්පත් කර තිබූ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සන්තොෂ් ජා මහතා සඳහන් කර තිබේ.
ඒ මහතා මෙරට පත්වීම ලැබීමට ප්‍රථම 2020 ජූලි සිට 2023 දෙසැම්බර් දක්වා බ්‍රසල්ස්හි ඉන්දීය තානාපති ලෙස සේවය කළේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම පිළිබඳ සාකච්ඡා කණ්ඩාම්වල සාමාජිකයකු ලෙසද සන්තොෂ් ජා මහතා කටයුතු කර ඇත.