මෙරට වැඩ සිටින විශිෂ්ට ධර්ම දේශකයකු, දැන උගත් යතිවරයකු සංඝ සෝභන ගුණයෙන් නොඅඩු සංඝ පීතෘවරයකු වන සේරුවාවිල රජමහා විහාරාධිපති, කොළඹ 07 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාන්ති පදනමේ සහ ජාතික පිච්චමල් පූජාවේ නිර්මාතෘ, කල්‍යාණි වංශ මහා නිකායේ අනුනායක ධුරන්දර කොටපොළ අමරකිත්ති නාහිමියෝ අද (23) තම දිවියෙහි 75 වැනි වසරට පිවිසෙති.
80 දශකයේ මුල් අවධියේ සිට තමන් වහන්සේගේ ජාතික, ශාසනික සේවාව ආරම්භ කළ උන්වහන්සේ අපට දැනට සිටින පරිණත පුළුල් ශාසනික ශීක්ෂණයක් සහිත අත්දැකීම් බහුල ගුවන් විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ ඉදිරිපත් කළ ධර්ම චින්තා වැඩසටහන මඟින් මේ රටේ ළමා පරපුර ඇතුළු වැඩිහිටියන්ට ලැබුණු මඟපෙන්වීම ඉතා විශිෂ්ටය. නිර්මාණාත්මක සහ ඉවසන සුළු දහම් දැනුමෙන් පොහොසත් සන්නිවේදකයකු හැටියට උන් වහන්සේ සතුව තිබෙන මනා හැකියාව එමඟින් පැහැදිලි විය. කොටපොළ හාමුදුරුවෝ බණට පමණක් සීමා වූ යතිවරයෙක් නොවූහ. උන් වහන්සේ මෙත් කරුණා සිතින් සරණක් විය යුතු අයට සරණක් වීම සඳහා ඉතා ශක්තිමත් පදනමක් ද ගොඩනැඟූහ. සේරුවිල රජමහා විහරයේ නෙළුම් පැළයක් රෝපණය කර ආරම්භ කළ ඒ මහා ව්‍යාපාරය රටම සුවඳවත් කරමින් තිබේ. ඒ ශාන්ති පදනමය. එමඟින් සැලසූ සෙත නිමක් නැත. සංවිධානාත්මක ව්‍යුහයක් අනුව එය ක්‍රියාත්මක වෙයි. අපේ රටේ ගිහි පැවිදි බොහෝ අය සමාජ සේවා කළ ද ඒ සඳහා විධිමත් ආයතනික ව්‍යුහයක් ඇත්තේ අල්ප දෙනෙකුට පමණි. ඒ අතරින් ශාන්ති පදනමට හිමිවන්නේ නොදෙවෙනි තැනකි. භක්තියත්, ප්‍රඥාවත් එක්තැන් කරමින් කොටපොළ නාහිමියන් ආරම්භ කළ පිච්චමල් පූජාව වියළි අනුරාධපුරය පින් සිතුවිලි වැස්සකින් වාර්ෂිකව සිසිල් කරන මහා පින්කමකි. විවිධ මල් පූජා ආරම්භ වුවද ඉතා විධිමත්ව සහ සැදැහැයෙන් යුතුව පවත්වන අසම සම මල් පූජාව පිච්චමල් පූජාවය. දැනට උන්වහන්සේ තරමක් රෝගීව වියපත්ව සිටිය ද බහු ජනතාව සහ ශාසනය වෙනුවෙන් කළ යුතු මෙහෙවර සඳහා කොටපොළ හාමුදුරුවෝ දිවා රෑ වෙහෙසෙති. පෙර කළ පිනෙන්ද මේ අත්භවයේ කළ පින්කම්වලින්ද සුපොහොසත් උන්වහන්සේ සම කළ හැකි වෙනත් ගිහි පැවිදි චරිත වේ නම් ඒ ඉතාම අල්ප වශයෙන් විය හැකිය. සැදැහැතියන් පිරිනමන පිරිකර ආදිය ද උන්වහන්සේ වාර්ෂිකව දන් පින්කම් කීපයක් පවත්වා භික්ෂු මහා සංඝයාටම පූජා කරති. 2004 වසරේදී උන්වහන්සේ පාර්ලිමේන්තුවට වැඩම කළහ. ඒ ඒ අවස්ථාවේ රට ජාතිය හා ශාසනය මුහුණ දුන් එසේම රටේ සාමකාමි ජනතාව පීඩාවට පත් කළ රට අස්ථාවර කළ කොටි ත්‍රස්තවාදය මතවාදිමය වශයෙන් මැති සභයේ පරාජය කිරීමටය. එම මෙහෙවර නිම වූ පසු උන්වහන්සේ පාර්ලිමේන්තුවෙන් නික්ම ගියහ. ඒ උන්වහන්සේගේ හැටිය.
මහණකමත් ශාසනික ජීවිතයත් හැර වටිනා දෙයක් උන්වහන්සේට නැත. අපට සිටින පරිණත මහ යතිවරයකු වන කොටපොළ හාමුදුරුවෝ එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වැලඳිය යුතු ජාතික ශාසනික සම්පතකි. 75 වැනි වියට පත්වූ උන්වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා ! චිර ජීවනය සැලසේවා !
ශිෂ්‍ය ගල්දොල
මධුරදේව කිත්ති හිමි