Tuesday, May 13, 2025
Home » කෝටි 10කට වැඩි ගංජා වගාවට ගිනි තබති

කෝටි 10කට වැඩි ගංජා වගාවට ගිනි තබති

වියළි ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවෝ තිදෙනෙක් දැලේ

by gayan
December 23, 2023 1:00 am 0 comment

වස්ගමුවේ අක්කර 5ක් විනාශයි

වස්ගමුව ජාතික වන උද්‍යානය මැද පවත්වා ගෙන ගිය ගංජා හේන් 6ක් වටලා රුපියල් කෝටි 10කට වැඩි ගංජා පැළ ලක්ෂයකට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ කළ බව වනජීවී දෙපාර්තමේන්තුව පැවසීය.මේ වැටලීමේදී වියළි ගංජා කිලෝ 29ක් ද සොයාගෙන තිබේ. මේ ගංජා සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සහ තණමල්විල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32, 47 සහ 56 වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි. මේ සැකකරුවන් දුර ප්‍රදේශයක සිට පැමිණ මේ නීති විරෝධී ගංජා වගාව සාර්ථකව සිදු කරගෙන යෑම සඳහා ඒ අවට ප්‍රදේශයෙන් කිසියම් සහාය ලැබී ඇති බවට විශ්වාස කරන බවත් එම පුද්ගලයන්ගේ ඉදිරියේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද වන ජීවි අංශ පවසයි. ලග්ගල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ මැදට වන්න සුදු කන්ද, මුක්කරු කන්ද ප්‍රදේශයේ වනාන්තරයේ අක්කර 5ක් වනාන්තරය කපා දමා මේ ගංජා වගාව සිදු කරගෙන ගොස් තිබූ බව වනජීවීය කියයි.

ඉකුත් 19 සහ 20 දින දෙකේ කළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව මේ ගංජා හේන් හය සොයා ගැනීමට හැකි වූ බවත්,අක්කර පහක පමණ භූමි ප්‍රදේශයේ හොඳින් වැඩුණු ගංජා පැළ ලක්ෂයකට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ කළ අතර ඒ තුළ අඩි දහයකට ආසන්න හොඳින් වැඩුණු ගංජා පැළ ලක්ෂයකට අධික ප්‍රමාණයක් තිබූ බව ද වනජීවි අංශ අනාවරණය කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සමඟ අත්අඩංගුවට ගත් ගංජා කිලෝ 29ක ප්‍රමාණයක් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 21 වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ දෙකක ශරීර ඇප නියම වූ බවත් සැකකරුවන් ලබන 27 වැනි දින යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග ලැබුණු අතර එදින සැකකරුවන්ට එරෙහි චෝදනා ගොනු කිරීමට නියමිත බවද වනජීවි අංශ සඳහන් කළේය. වස්ගමුව රක්ෂිතයේ උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ලේ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත අඩවි ආරක්ෂක ටී.ආර්.ප්‍රදීප්,එම්.සී.එන්.මාරසිංහ,ජේ.පී.එම්.ආරියසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වනජීවී නිලධාරින් පනස් පස් දෙනකු මේ වැටලීමට සහභාගී වූහ.

අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT