ලියාපදිංචි අංක තහඩු 14කුත් හමුවෙයි
කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල මහමඟ නවතා තබන යතුරුපැදි සොරා ගැනීමට පුරුදුව සිටි පුද්ගලයකු සොරාගත් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා යතුරුපැදි 19ක් හා ලියාපදිංචි අංක තහඩු 14ක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. පල්සර් වර්ගයේ යතුරුපැදි 18ක්, සී.ටී 100 වර්ගයේ යතුරු පැදියක් හා ලියාපදිංචි අංක තහඩු 14ක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (22)උදෑසන බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණ මේ භාණ්ඩ පරීක්ෂාවට ලක් කෙරිණ.
පසුගිය 21 වැනිදා සිට 2023.11.11 දක්වා වූ මාස නවයක කාලයේ මේ සොරකම් කර තිබූ බව පැවසෙයි. කුරුඳුවත්ත කෙම්බ්‍රිජ් රථ ගාලේ හා බම්බලපිටිය යුනිටි ප්ලාසා රථ ගාලේ නවතා තිබූ යතුරු පැදි දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිසිවලට පසුගියදා පැමිණිලි දෙකක් ලැබී තිබුණි.
ඒ පිළිබඳව බම්බලපිටිය සහ කුරුඳුවත්ත පොලිසිවලින් විමර්ශන දෙකක් කරමින් තිබියදී එම පොලිස් බල ප්‍රදේශවල විශාල ලෙස යතුරුපැදි සොරකම් වාර්තා වී තිබු නිසා කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අභයගුණවර්ධන මහතා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හරහා වෙනම විමර්ශනයක් කරන ලෙස උපදෙස් දී තිබුණි.
ඒ අනුව සොරාගත් යතුරුපැදියක් තලපත්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට ලද තොරතුරකට නිලධාරි කණ්ඩායමක් ඒ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී එහි තිබී පල්සර් වර්ගයේ යතුරුපැදි තුනක් හා යතුරුපැදිවලින් ගැලවූ ලියාපදිංචි අංක තහඩු 8ක් සමඟ නිවසේ සැඟව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොළඹ අවට සහ ගාල්ල ප්‍රදේශවලින් සොරා ගත් තවත් යතුරුපැදි රැසක තොරතුරු අනාවරණය වූ අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුව ගාල්ල,කළහේ,පැලැන්ගස්වත්ත ප්‍රදේශයේ සැකකරුට අයත් නිවසක සඟවා තිබී තවත් යතුරුපැදියක් සහ ලියාපදිංචි අංක තහඩු හයක් පොලිස් භාරයට ගෙන ඇත.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් යතුරුපැදි පරීක්ෂා කළ අයුරු.
තවදුරටත් ප්‍රශ්න කිරීමේදී බම්බලපිටිය කුරුඳුවත්ත කොටුව පිටකොටුව වැලිකඩ මහරගම සහ ගාල්ල පොලිස් වසම්බල මහමඟ නවතා තිබියදී සොරාගත් තවත් යතුරුපැදි රැසක තොරතුරු අනාවරණය වී තිබුණි.
ඒ අනුව තවත් යතුරු පැදි 15ක් නෙළුව, ගාල්ල, කාත්තන්කුඩි, හම්බන්තොට, රත්නපුර, අනුරාධපුර කළුතර, මාතර, වේයන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
ඒ අනුව පල්සර් වර්ගයේ යතුරු පැදි 18ක්, සී.ටී 100 වර්ගයේ යතුරු පැදියක් හා ලියාපදිංචි අංක තහඩු 14ක් පොලිස් භාරයට ගත් අතර ඒවා ගාල්ල බන්ධනාගාරය, කරාපිටිය ශික්ෂණ රෝහල, ගාල්ල සමනල ක්‍රීඩාංගණය , බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව, මහරගම අපේක්ෂා රෝහල, නුගේගොඩ දියත උයන, කොළඹ කොටුව තැපැල් කාර්යාලය ඉදිරිපිට මහරගම ඇමිටි බිල්ඩිම ඉදිරිපිට , බම්බලපිටිය යුනිටි ප්ලාසා , කුරුඳුවත්ත කෙම්බ්‍රිජ් රථගාල යන ස්ථානවලින් සොරකම් කර තිබුණි.
සිය අනියම් බිරිය සමඟ කම්සැප විඳීමට මේ යතුරුපැදි විකුණා ලබා ගත් මුදල් වැය කර තිබූ බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් දෙහිවල සරණංකර පාරේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අභයගුණවර්ධන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ අංක 1 භාර සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ මහතාගේ හා කොළඹ 3 භාර සහකාර පොලිස් අධිකාරි චානක අභයසිරි ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප මෙරීනෝ, උ.පො.ප දේශාන් පො.සැ (52090) නිශාන්ත , (36919) චන්දන (68039) මාලිංග පො.කො (12071) චන්දන (83822) ගයාන් (88651) හේරත් (30861) විපුලසේල (96631) කුෂාන්තන් (26024) කුමාර (36597) මදුශංක (101409) රාජපක්ෂ (103430) සඳකැලුම් (103697) ජයවීර (104918) විමල රාජා (105023) රෙජිනෝල් (104928) ඉෂාර කා.පො.කො (11868) සංජීවනි (11522) වීරසිංහ පො.කො.රි (99023) වර්ණ කුලසූරිය ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කර ඉදිරි පරීක්ෂණ පවත්වති.
සේයාරූ -ප්‍රදීප් කුමාර