Home » ‘පළාත් සභා මැතිවරණය ඕනේ’; මහින්ද, මනෝ, තිස්ස සහ මුජිබර් එක හඬින් කියයි

‘පළාත් සභා මැතිවරණය ඕනේ’; මහින්ද, මනෝ, තිස්ස සහ මුජිබර් එක හඬින් කියයි

by chanaka
December 23, 2023 4:51 pm 0 comment

ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසය සහ Peoples Foundation යන ආයතන එක්ව “අපේ අයිතීන් අපේ සම්පත් රැක ගන්නට අපේ පළාතේ පළාත් සභාව බලගන්නමු” යන තේමාව මුල් කොටගෙන පැවැති තෙවන සහ සිව්වන දිස්ත්‍රික් සමුළු ඊයේ කොළඹ කිචිලාන් උත්සව ශාලාවේ දී සහ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණි.

මෙම වැඩසටහන සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන සහ Peoples Foundation ආයතනයේ සභාපති එරික් හේරත්, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් නායක අයිෂා රිල්වාන්, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ඇතුළු සිවිල් සංවිධාන සහ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගි විය.

කොළඹ සමුළුවේ ප්‍රධාන දේශනය ඉදිරිපත් කරමින් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් නිසි කාලවලදී නිසි ලෙස මැතිවරණ පැවැත්විය යුතු බවත් මේ වන විට පළාත් සභාව විසුරුවා වසර හයක් පමණ ගත වී ඇති නමුත් මේ වන විටත් ඒ සඳහා මැතිවරණයක් නොපවත්වන අවස්ථාවක පුරවැසියන් ලෙස මෙම සමුළුවට පැමිණීම ගැන සතුටු වන බවත්ය.

එසේම පළාත් වෙත බලය බෙදා දීමෙන් එම පළාතේ දියුණුව ඉක්මනින් ළඟා කර ගත හැකි බවත් වැඩිදුරටත් පැවසිය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ තමන්ද මෙම පළාත් සභා ඡන්දය පැවැත්වීම කඩිනම් කළ යුතු යන මතයේ සිටින බවත් මේ වන විට කොතරම් ඉල්ලීම් කොතරම් බලපෑම් සිදුවුව ද ඡන්දය පැවැත්වීම ආණ්ඩුව විසින් කල් දමන බවත්ය. කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් ආණ්ඩුව ඡන්දය පරාද වීමට සිදුවන බව නිසා මැතිවරණය නොපවත්වන බවයි. එසේම මෙම තත්ත්වය තුළින් ඉදිරියේදී නැවත යුද්ධයක් ඇතිවිය හැකි බවත් ලංකාවේ පවතින වාර්ගික ගැටුම තවත් උත්සන්න වීමට මෙය හේතුවක් වීමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT