Home » ලංකාවේ උපන් ඉන්දීය විකට නළු ‘මනි’ අභාවප්‍රාප්ත වෙයි

ලංකාවේ උපන් ඉන්දීය විකට නළු ‘මනි’ අභාවප්‍රාප්ත වෙයි

by chanaka
December 24, 2023 10:21 pm 0 comment

ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඉන්දියාවේ ජනප්‍රිය දෙමළ විකට නළුවකු වන ‘බොන්ඩා මනි’ අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වකුගඩු ආශ්‍රිත රෝගාබාධයක් හේතුවෙන් ඔහු ඊයේ මියයන විට වයස අවුරුදු 60 කි.

චිත්‍රපට වෙළඳ විශ්ලේෂක ශ්‍රීධර් පිල්ලේ බොන්ඩා මනිගේ මරණය පිළිබඳ පුවත තහවුරු කළේය.

ඉන්ඩියා ටුඩේ විසින් වාර්තා කරන ලද පරිදි, සෙනසුරාදා රාත්‍රියේ, චෙන්නායි හි පොසිචලූර් හි පිහිටි ඔහුගේ නිවසේදී මනි ක්ලාන්ත වීම හේතුවෙන් ක්‍රෝම්පෙට්හි රජයේ රෝහල වෙත ගෙන යන ලදී.

පරීක්ෂණයෙන් පසු වෛද්‍යවරු ඔහු මිය ගිය බව ප්‍රකාශ කළහ.

බොන්ඩා මනි දශක තුනකට ආසන්න කාලයක් සිනමාව තුළ රංගන ශිල්පියකු ලෙසින් කටයුතු කර ඇත.

ඔහු චිත්‍රපට 270 ක විකට චරිත ගණනාවක් රඟපා ඇති අතර ඔහු විකට ගීතවල නිත්‍ය චරිතයක් වූ බව හින්දුස්ථාන් ටයිම්ස් පවසයි.

භාග්‍යරාජ්ගේ පවුන්නු පවුනුදාන් චිත්‍රපටයෙන් රංගන ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ඔහු පොන්විලන්ගු, පොංගලෝ පොංගල්, සුන්දර ට්‍රැවල්ස්, මරුදමලෙයි, වින්නර්, වේලායුධම් වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වී තිබේ.

ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ඉපදී හැදී වැඩුණු ඔහුගේ මුල් නම කේදීස්වරන්ය.

ඔහු උපත ලබා තිබුණේ පවුලේ පහළොස්වැනි දරුවා ලෙසයි.

සිය මුල් ළමාවිය ශ්‍රී ලංකාවේ ගතකිරීමෙන් පසු ඔහු ඉන්දියාවට සංක්‍රමණය විය.

ඔහු හැදී වැඩුණේ එම්රා.ජී. රාමචන්ද්‍රන්ගේ දැඩි රසිකයෙක් ලෙසය.

මව සහ සහෝදර සහෝදරියන් අටදෙනෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් 1983 දී බෝට්ටුවක නැගී ශ්‍රී ලංකාවෙන් පළායෑමට උත්සාහ කළ නමුත් ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී එල්ල වූ බෝම්බයක් හේතුවෙන් බෝට්ටුව පෙරළී ගොස් තිබේ.

එම අනතුරින් ඔහුගේ මව සහ ඔහුගේ සහෝදර සහෝදරියන් අට දෙනා එම ස්ථානයේදීම මියගොස් ඇත.

බොන්ඩා මනි ප්‍රකාශකර ඇති පරිදි ඔහුගේ වේදිකානාමය නිර්මාණය වී ඇත්තේ බොන්ඩා ආහාරයට ගැනීමට දැක්වූ රුචිය සහ ඔහුගේ උපදේශකයා වූ ගෞණ්ඩමනීගේ නමින් කොටසක් එක්වීමෙන් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT