Home » වෙළෙඳ සමා­ජය නත්තල අව­භා­විත කර­නවා

වෙළෙඳ සමා­ජය නත්තල අව­භා­විත කර­නවා

කොළඹ අග­ර­ද­ගුරු පද­වියේ සහා­යක රද­ගුරු මැක්ස්වෙල් සිල්වා පියතුමා

by Gayan Abeykoon
December 25, 2023 7:17 pm 0 comment

නුවන් මහේෂ් ජය­වි­ක්‍රම

• මේ උදාවී තිබෙන්නේ අසිරිමත් නත්තල් දිනයයි ?

ඔව් එදා වසර දෙදහසකට ඉහතදී මරියතුමිය – ජුසේ දෙදෙනාගේ ශුද්ධ වූ පවුලේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත වුණේත් අද වගේ දවසකයි. එදවසයි අපි නත්තල විදිහට සමරන්නේ. ඒත්, තව දෙයක් කියන්න ඕනෑ. ඒ, ඊට හුඟ කාලෙකට කලින් ඉඳන්ම මිනිසුන් ගැලවුම්කරුවකු ඉපදෙන තෙක් බලා හිටිය වගයි. ඊශ්‍රායලයේ ජනතාව ඇතුළු ලෝකයා තුළ ඉතා දිගු කලෙකට ඉහතදී, එහෙමත් නැතිනම් ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම ඒ අපේක්ෂාව පැවතුණා. අනෙක, ආදම් – ඒවගේ පටන්ම එය එසේමයි. මනුෂ්‍යයා පවු කිරීමට පෙලඹීම ගැන දෙවියන් වහන්සේ තුළ කම්පාවක් තිබුණා. එය එසේ නොවන්නට දෙවියන් වහන්සේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම විවිධ උපක්‍රම යෙදුවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා පවෙන් ගලවා ගැනීමට වෙහෙසුණා.

• ඒ කොහොමද?

එකක් රජවරු මාර්ගයෙන්. රජවරුන් මහජනතාව රැස් කරවා ජනතාවට වරදින්, නපුරෙන් වැළකිය යුතු බව දැනුම් දුන්නා. වරදට පසුතැවිලි විය යුතු බව පැවසුවා. දිවැසිවරුන් හරහාත් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්නට බොහෝ කාලයක සිටම ඒ පණිවුඩය වරින් වර ලෝකවාසීන්ට දුන්නා. ක්‍රි. පූ. 7 වැනි සියවස තරම් කාලයේදීත් ඉන්සියාස්, ජෙරමියස්, ආමෝස් ආදීන් කළ අනාවැකි ඔස්සේ ඊට උදාහරණ දැක්විය හැකියි. ඒ අතුරෙන් ඉන්සියාස් අදින් වසර 2800කට පමණ ඉහතදී, එනම් ක්‍රි. පූර්ව 7 වැනි සියවසේදී දෙවියන් වහන්සේ මෙලොවට උන්වහන්සේගේ දරුවා එවන වගත් කන්‍යාවක එම දරුවා බිහි කරන වගත් කියා තිබුණා. දෙවියන් වහන්සේ මෙලොවට බිහි වන්නේ එවැනි අපේක්ෂා ලෝකයා තුළ පැවැතියදීයි. ලෝකයා ගැලවුම්කරුවකු පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටියදීයි. නත්තලේ ඇරැඹුම එයයි.

• නත්තලට කිතුනුවන්ගේ පෙර සූදානමක් තියෙනවා නේද?

සත්තකින්ම. නත්තල කිතුනුවන්ට එකවරම උදාවන තවත් එක් දවසක් විතරක් නොවෙයි. කිතුනුවන් ඊට සති හතරකට, එහෙමත් නැතිනම් මසකට කලින් සිටම, ඉරිදා දිනවලදී සති හතරක ඉඳන් පෙර සූදානම් වීමක් වෙනවා. ඒ අනුව දුප්පතුන්ට තෑගි භෝග දීමට වෙන් කළ දිනයේදී නිසි ක්‍රමයක් යටතේ කිතුනුවන් ඒ සද්කාර්යය කරනවා. එකිනෙකා තනි තනිව හා සාමූහිකව කළ වැරදිවලට සමාව ඉල්ලා සිටීමත්, පවු ගැන පසුතැවිලි වීමත්, සමාව දීමටත් ක්‍රමවේදයක් ආදියත් ඒ තුළ පවතිනවා. ඉතින්, බෙදාගැනීමත්, වැරදි ගැන පසුතැවිලි වීමත් ආදී ගුණාංග පිරූ පසුවයි කිතුනුවන්ට නත්තල උදා වෙන්නේ.

• අපි දැන් නත්තලේ පණිවුඩය කියවමු?

බෙදා ගැනීම මූලිකයි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා මෙලොවත් සමඟ බෙදා ගත්තා. ක්‍රිස්තුස් වහන්සේ දෙව් ලොව සිට මෙලොවට පැමිණ අපත් සමඟ ජීවිතය බෙදා ගත්තා. එකල එඬේරුන් දඩබ්බරයන් පවුකාරයන් විදිහටයි සැලකුවේ. ඒත්, ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ රජ මැඳුරේ නොවෙයි. දුගී එඬේරුන්ගේ ගව ලෙනකයි. පළමුව, ඒ පණිවුඩය ලද්දේ ඔවුන්. එසැණින් එඬේරු ඒ පණිවුඩය අනෙකා සමඟ බෙදා ගත්තා. ඒ අතිශය දුෂ්කර බෙත්ලෙහෙමේදීයි. ඒත්, එතැන කාටත් විවෘත වුණා. රජවරුත් උන්වහන්සේ බැහැදකින්න ආවා. දුගීනුත් කිසි බාධාවක් නැතිව එතැනට පැමිණියා. එතැන කාටත් පොදු තැනක්. හැබැයි රජ මැඳුරක උපන්නා නම්, මහජනතාවට ජේසු බිලිඳුට ළං වීමේ අවස්ථාව වැළකී යන්නත් ඉඩ තිබුණා. ඒත්, ඒක එහෙම වුණේ නැහැනේ. නුවරඑළියටත් වඩා සීත ඒ වටපිටාවේදී අතිදුෂ්කර මඟක කොටළුවකු පිට නැඟීගෙනනේ, මරියතුමිය, ජුසේ දෙදෙනා මේ බිලිඳා ආරක්ෂා කරගන්නට රහසේ ගෙන ගියේ. ඒ මේ බිලිඳා දිනක රජ වීමෙන් තමන්ට රාජ්‍ය බලය අහිමි වෙතැයි එවකට හෙරෝද් රජු ඇති කර ගත් සැකය නිසයි. ඒත්, ක්‍රිස්තුස් වහන්සේ ඒ භෞතික සැප සම්පත් අපේක්ෂාවෙන් මෙලොවට පැමිණි කෙනෙක් නොවෙයි. රජ සැප අත්හරිමින් තමයි එතුමන් දුගියන් අතරට පැමිණියේ. ඒ වග වටහා ගැනීමට අසමත් වූ බලලෝභී පාලකයන් එදින උපන් සියලු බිලිඳුන් ඝාතනය කරමින් ජේසු බිලිඳාව මෙලොවින් තුරන් කර දමන්නට වෙහෙසුණා. අදටත් ඒ ප්‍රදේශවලට ගියාම ඒ පරිසරයේ කටුක, දුෂ්කර බව අත්විඳින්න ලැබෙනවා.

• ඒත්, මේ වැඩි දෙනකුට ආර්ථික අතින් දුෂ්කර කාලයක්?

ඒක හරි. අද තුන්වේල ආහාර ගත් සමහරු ඒක දෙවේලට අඩු කරලා. දෙවේල ගත් ඇතැමුන් එක වේලට බැහැලා. අන්තෙටම ඇදවැටුණු අයත් ඉන්නවා. ඒ එක පැත්තකින්. හැබැයි ඇති හැකි, තියෙන, පොහොසත් අයත් කොතරම් නම් අපේ සමාජයේ ජීවත් වෙනවාද? ඒ අය අනෙකා එක්ක සම්පත් බෙදා හදා ගත්තොත් තමයි සැබෑ නත්තල උදා වෙන්නේ. එච්චරක් නොවෙයි. මේ බෙදා ගැනීම කියන කාරණය මුදලට, වස්තුවට, සම්පත්වලට පමණක් සීමා කර දක්වන්න බැහැ. අම්මාගේ ආදරය ඒකට හොඳ නිදසුනක්. ඒක මිල මුදලෙන් මනින්නත් බැහැනේ.

ඒ අරුතෙන් ගත් විට අම්මා විතරක් නොවෙයි. ගුරුවර ගුරුවරියන් තමන් සතු, තමන් ළඟ ඇති දැනුම, අවබෝධය, අත්දැකීම් අනෙකා සමඟ බෙදාගන්නවා. ඒකට ඒ අය ළඟ සල්ලි තියෙන්නම ඕනෑ නැහැනේ. අපි හැමෝම එක වගේ නැහැ. එකිනෙකා තුළ වෙනස් දක්ෂතා, කුසලතා, හැකියාවන් තියෙනවා. ඒ තමන් සතු දේ බෙදාගැනීම ගැනයි නත්තල කතා කරන්නේ. ඉතින්, කවුරුත් මට මුකුත් නැහැයි කියලා කනගාටු වෙන්න ඕනෑ නැහැ. මේ සත්‍යය අපට නිර්මාණවලින් පැහැදිලි කර දුන් කෙනෙක් තමයි ගරු මර්සිලීනු ජයකොඩි පියතුමා. ඇත්තෙන්ම එතුමා නැතිව මෙරටට නත්තලක් ගැන කතා කරන්නත් බැරි තරම්. නත්තල ගැන නිර්මාණය කෙරුණු, ඒ ගැන ගැයෙන අරුත්බර ගීතවලින් අඩකටත් වඩා වැඩි ගණනක් නිර්මාණය කළේ එතුමන්. ‘මගෙ නත්තල දුගියා බත් කන දා ය’, ‘මගෙ නත්තල පව පල්ලියෙ යන දා ය’ ආදී වශයෙක් කොතෙකුත් එවැනි ආදර්ශවත් මඟ පෙන්වීම් එතුළින් පෙන්වා දිය හැකියි.

• ‘පව පල්ලි යෑම’ කියමන ගැන විස්තර කළොත්?

හොඳයි. ඇත්තටම පවට පල්ලි යන්න බැහැනේ. හැබැයි පවුකාරයන්ට පල්ලියට යන්න පුළුවන්. ඒකට කිසි බාධාවක් නැහැනේ. ඒ හැම කෙනකුම පල්ලිය ආදරෙන් භාර ගන්න සූදානමින් ඉන්නවා. එසේම, ලද දෙයින් සතුටු වීමත් අද සමාජයට හුඟක් වැදගත්. හැබැයි සමහරු නොලද දේ ගැන පසුතැවෙමින් කල් ගෙවනවා. ඉන් ඵලක් නැහැ. ලැබුණු දේ කිතුනුවන් ඉහළින් අගය කරනවා. ඒ වග ඉස්මතු කෙරෙන ගීතිකා හුඟක් තියෙනවා.

‘ජීවිතය මට දුන්නු දෙව් සමිඳේ

මගේ පණනල ඔබ අතේ රැඳුණේ

රැක ගන්න සමිඳුනි මා//…

කෘතඥතාව ගැනත් කතා නොකරම බැහැ. ඒකත් අද සමාජයේ හුඟ දෙනකු තුළින් ඈත් වී ඇති බවක් පෙනෙනවා. අපි අපේ ගම් පළාත්වලදී අදටත් ඒ ගුණය පවත්වාගෙන යනවා. මවුපිය, නෑසියන්, අසල්වාසින්, වැඩිහිටියන්, ගුරුවර, ගුරුවරියන්ට කෘතඥ දැක්වීමට නත්තල් දිනයේදී කිතුනුවන් අමතක කරන්නේ නැහැ. ඊටත් නත්තල් දිනය කැප කළ යුතුයි.

• හැබැයි නත්තලත් වෙළෙන්දන්ගේ ඉත්තෙක් වෙලා කියලා සමහරු කියනවා?

ඒක එහෙම නොවිය යුතුයි. අපි ඊට තදින් විරුද්ධයි. ඉතාලියේ විසූ ධනපතියකු වූ ශාන්ත නිකොලොස්තුමාවයි නත්තල් සීයා විදිහට අන්වර්ථයකින් ලෝකයා හඳුන්වන්නේ. ඇත්තෙන්ම, එතුමා තමන්ගේ ධනය, සම්පත් දුගීන්ට දුන් කෙනෙක්. ධනය, සම්පත් ඕනෑ අය සොය සොයා ගිහින් ඔහු ඒ අයට දුන්නා. රාත්‍රී කාලයේ වෙස්වළාගෙන ඇවිද්දා. කෙටියෙන් විස්තර කළොත්, එවකට එක ආර්ථික අපහසුතා තිබූ පවුලක දියණිවරු තිදෙනකු සිටියා. ඒ අය දීග දෙන්නට දෑවැදි නැතිකමින් තැවෙමින් සිටි ඔවුන්ගේ පියාට නිකොලොස්තුමා සැඟ වී සිටිමින් උදවු කළා. ඔහු ඒ නිවෙසේ උස චිමිනිය තුළින් ගෙතුළට රන්කාසි දැමුවා. ඒ ලද ගෙහිමියා ඉන් කටයුතු සපුරා ගත්තා. ඔහු එතරම් පරිත්‍යාගශීලි චරිතයක්. ඒත්, නූතන වෙළෙඳ සමාජයේ සමහරු එවන් ඔහුව අවභාවිත කරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.

• පාලකයන් ඉහළ නිලධාරින් ගැනත් මේ කාලයේ හුඟක් ඇහෙනවා?

රටක පාලකයන්ට ප්‍රශ්න සියල්ලම විසඳන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මානුෂික වීම පාලකයන් තුළ තිබිය යුතුම දෙයක්. ඒ වගේම, ජනතාවගේ හිත් නොරිදෙන්නට කටයුතු කිරීමත් වුවමනායි. අධිකාරි බලය යොදා ජනතා අපේක්ෂා, ඉල්ලීම් යටපත් කිරීම නොකළ යුතු දෙයක්. තදබල විදිහට නෙවෙයි, කාරුණික වීමත් පාලකයන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ. සැබැවින්ම බදු බර ආදිය වැඩිපුර දිය යුතු අය මුලින් හඳුනාගෙන එතැන ඉඳන් වැඩ පටන් ගන්නවා නම් වැදගත් යන වගයි විද්වතුන් පෙන්වා දෙන්නේ. ගොවීන්ගෙන් මිලට ගන්නවාට වඩා හතර, පස් ගුණයක් වැඩි මිලකටයි සමහර වෙළෙන්දන්ගෙන් ජනතාව ඒ ද්‍රව්‍ය මිලට ගන්නේ. ඒ අතරමැදියන්ගේ ගසාකෑම. ඒ දේවල් නවතා දැමීම රජයට එතරම් අපහසු නැහැනේ. ඉතින්, එහෙම වෙනවා නම්, අපට අන්තර්ජාතික මූල්‍ය ආයතනවල සහායක් අවශ්‍ය නොවේවි. මෙරට ස්වාභාවික සම්පතින් අනූනයි. ඒත් ඊශ්‍රායලය වැනි රටවලට මෙතරම් සම්පත් නැහැනේ. ඉතින් අපට ආපස්සට නැවත හැරී බලන්න මේ නත්තලත් නිමිත්තක් කරගත හැකියි. ලෝක ප්‍රකට කියමනක් තියෙනවානේ, ඇතැමකු හැමදා රැවටිය හැකි විය හැකි නමුත්, සියල්ලන් සෑම කල්හිම රැවටිය නොහැකියි කියලා, ඒ අනුව බැලුවත් පාලකයන්, ඉහළ තනතුරු දරන නිලධාරින් ජනතාව කෙරෙහි ආදරයෙන්, පරිත්‍යාගයෙන්, කටයුතු කළ යුතු වග අවධාරණය වෙනවා. නත්තලේ සැබෑ අරුත් මතු කරමින් ප්‍රීතිමත් නත්තලක් ඇති කර ගැනීමේ වෑයමේදී ඕනෑම රටක ජනතාවකට යුක්තිය, සාධාරණත්වය හරියට ඉටු වීමත් අවශ්‍යයි. ඒ කරුණු නොඅඩුව ඉටු වූ දාට සැබෑ නත්තල ලෝකයාට ලැබෙනු නියතයි.

📷 ඡායා­රූපය – ශාන් රූප­ස්සර 📷

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT