Home » පාස්කුදා ප්‍රහා­රයේ චූදි­ත­යන් හඳු­නා­ ගෙන වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු­ ක­රන්න

පාස්කුදා ප්‍රහා­රයේ චූදි­ත­යන් හඳු­නා­ ගෙන වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු­ ක­රන්න

by Gayan Abeykoon
December 25, 2023 1:28 am 0 comment

නත්තල ප්‍රීතිදායක වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, පණිවුඩය තුළ ජීවත් වුවහොත් පමණක් බව නත්තල් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නත්තල ප්‍රීතිදායක එකක් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, සහෝදරත්වයේ හා අසරණයන්ට පිහිට වීමේ පණිවුඩය තුළ ජීවත් වුවහොත් පමණක් බව නත්තල් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එම නත්තල් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

සාමයේ කුමාරයා’ යන ගෞරවනීය නාමයෙන් විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදු වූ සුවිශේෂී දිනය සිහිපත් කරන අසිරිමත් නත්තල අදට යෙදී තිබේ.

දෙවියන් වහන්සේ තම පුත්‍රයා මෙලොවට එවීමෙන් අපේක්ෂා කළේ, දේව රාජ්‍යයේ සාරධර්ම යළි මිහිමත ජීවත් කරවීම යි. ක්‍රිස්තුස් වහන්සේ අඳුරු හදවත්වලට සදා ආලෝකය ගෙනාවේය. බෙදාහදා ගැනීමේ අපූර්ව පාඩම ලොවට කියා දුන් අසිරිමත් නත්තල කිතුනුවන් පමණක් නොව ජාති, ආගම් භේදයකින් තොරව ලෝකවාසී බොහෝ දෙනා එකට එක් වී සමරති. සොවින් පිරි හදවත් සනහාලන්නට ප්‍රේමය, ආදරය, සාමය සමාදානය සමානාත්මතාව පිරුණු ලෝකයක් නිර්මාණය කරලීමට ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ආදරයේ දෑත් දිගු කළහ.

වසර දහස් ගණනක් තිස්සේ ලෝ පුරා වූ කිතුනු බැතිමතුන් දෙසැම්බර් මාසයේ නත්තල් දිනය පහන් කරන්නේ දේවස්ථානයේ නාද වෙන සීනු හඬ මැද ඉටිපන්දම් එළි අතරින් ජේසුස් වහන්සේගේ උපත සමරමින් කරනු ලබන ආගමික වතාවත් සමඟ ය. නත්තල ප්‍රීතිදායක එකක් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, සහෝදරත්වයේ හා අසරණයන්ට පිහිට වීමේ පණිවුඩය තුළ ජීවත් වුවහොත් පමණි.

කුමන ජීවන තත්ත්වයක් ගත කළ ද කුඩා පැල්පතේ සිට මහා මන්දිරයේ සිටින මිනිසුන් දක්වා තමන්ට හැකි අයුරින් නත්තල් සමරති. “යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද වපුරන බව” බයිබලයේ සඳහන්‍ ව තිබේ. මින් පැහැදිලි වන්නේ යහපත, මනුෂ්‍යත්වය පිරුණු රටක්, ලොවක් වෙනුවෙන් කැපවීමට ජේසු සමිඳු මාර්ගය පෙන්වා දී ඇති බව යි.

නත්තලේ පණිවුඩය මිහිමත සකල ජනතාවට සාමය උදාවේවා යන්න යි. විමුක්තියේ පණිවුඩය ලොවට ගෙන යමින් සැබෑ නත්තලේ අරුත විදහාලන සතුට සාමය සපිරි සුබ නත්තලක් වේවායි පතමු!

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT