Home » ධනයට බලයට වහල් නොවී අල්පේච්ඡ ජීවිතයේ හරය තේරුම් ගන්න

ධනයට බලයට වහල් නොවී අල්පේච්ඡ ජීවිතයේ හරය තේරුම් ගන්න

ප්‍රධාන නත්තල් දේව මෙහෙයට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති

by gayan
December 26, 2023 1:00 am 0 comment

අපි ධනය සහ බලය පසුපස යමින් ඒවාට වහල් නොවී ජේසුස් වහන්සේගේ අල්පේච්ඡ ජීවිතයේ හරය තේරුම් ගත යුතු යැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රධාන නත්තල් දේව මෙහෙයට එක්වෙමින් කටාන, හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී පෙරේදා (24) රාත්‍රියේ පැවැසූහ.

එම දේව මෙහෙයේදී උන්වහන්සේ මෙසේ ද පැවැසූහ.

“ධනය සහ බලය පසුපස යමින් ඒවාට වහල් වෙනවා නම් අපි ලජ්ජාවට පත්විය යුතුයි. ධනයට සහ බලයට මුල්තැන දෙමින් ජේසුස් වහන්සේගේ මේ උපතේ හරය හරිහැටි තේරුම් නොගෙන ආත්මාර්ථකාමී ලෙස නත්තල් මංගල්‍යය සමරන්නට අපි යොමු වෙනවා. මුල සිටම අල්පේච්ඡ ජීවිතයක් තෝරා ගත් ගවලෙනේ උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ ඇති ඇතුළාන්ත හරය තේරුම් නොගත් අය මෙන් අපි හැසිරෙනවා.

අද අපි ජීවත් වන සමාජයේ දරිද්‍රතාව සහ නැති බැරිකම නිසා පීඩා විඳින්නෝ බොහෝමයි. මේ අතර දූෂණය පිළිබඳව අප රට ලෝකයේ පළමු පෙළේ රටවල් අතර ඉහළම තැනක සිටීම ඇත්ත වශයෙන්ම කනගාටුදායකයි. මේ නිසා මෙදා නත්තල තුළ දිළිඳුකම, අහේනිය සහ අගහිඟකම්වලින් මිරිකී සිටින දිළිඳුන්ට අත දිගු කළ යුතු වෙලාවක් උදාවී ඇති බව අප තේරුම් ගත යුතුයි.

ගවලෙනක උපන් දිළිඳුන් අතර දිළිඳා වූ ජේසුතුමන්ගේ ඒ උපත සමරමින් තමන්ට හැකි අයුරින් පීඩිත ඒ සොහොයුරු සොහොයුරියන්ට, දරුවන්ට සහ මවුපියන්ට උපකාර කරන්නට අත දෙන්නට මෙය අවස්ථාවක් කර ගන්නා මෙන් නත්තල් දවසේ ඉල්ලා සිටිනවා. අසල්වැසි දිළිඳුන් කැඳවා ඔවුන්ට ආහාර වේලක් සපයා නත්තල අර්ථවත් කරන ලෙසත් මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.”

ඡායාරූප – සුලෝචන ගමගේ

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT