Tuesday, May 13, 2025
Home » සාගර පතුලේ සැඟව ගිය පඬිරුවන මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හිමි

සාගර පතුලේ සැඟව ගිය පඬිරුවන මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හිමි

by gayan
December 26, 2023 1:00 am 0 comment

මීට වසර 19කට පෙර,එදින ද එනම්, 2004 වර්ෂයේ ද හරියට ම උඳුවප් පුර පසළොස්වක පොහොය යෙදී තිබුණේ දෙසැම්බර් මස 26 වැනි දා ය. දේශනයෙන් හා ලේඛනයෙන් අවිවේකීව අපිස් දිවි පෙවෙතක් ගත කරන මීගොඩ පඤ්ඤාලෝක හිමියන්ට පොහොය දිනය බොහෝ සෙයින්ම අවිවේකී ය. කෙතරම් විවේකය මඳ වුව ද යම් දායකයෙක් හෝ භික්ෂූන් වහන්සේ නමක් කරන ආරාධනාවක් ප්‍රතික්‍ෂේප කරනුයේ කරන්නම දෙයක් නැති වුණොත් පමණි. එදින උඳුවප් පොහෝ දා ද ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකින් දහවල් දානයක් සඳහා වැඩම කරන ලෙස ආරාධනාවක් ලැබී තිබිණි.

යළිත් එදින ම සවස රූපවාහිනී මාධ්‍යයක සජීවීව විකාශය කෙරෙන ධර්මදේශනයක් කිරීමට ද ආරාධනාවක් ලැබී තිබිණි. ඒ දෙක ම කෙසේ හෝ ඉටුකිරීමට සිතාගත් උන්වහන්සේ උදේ දානය වළඳා මෝටර් රථයට ගොඩවූයේ දහවල් දානයට ගාල්ලට යෑමටය. ඒ අවස්ථාවේ හිතවත් දායක මහත්තයකු පැමිණ ‘අනේ හාමුදුරුවනේ, අද හවස විශේෂ බණකුත් තියෙන නිසා ඔය ගමන යන්න ම ඕනැ ද? ගිහින් එනකොට ගොඩක් මහන්සිනේ. ඒ නිසා නොගිහින් ඉන්න බැරි දැ’යි විමසූ විට ‘එහෙම කොහොමද මම එනවා කියා ආරාධනාව භාර ගත්තනේ. ඒ නිසා යන්න ඕනෑ’ යැයි පන්සලෙන් පිටත් වූ මීගොඩ පඤ්ඤාලෝකහිමියෝ අම්බලන්ගොඩට ආසන්න වෙත් ම වෙරළ සීමාව ඉක්මවා පැමිණි පළමු උදම් රළට මුහුණ දුනි. ‘වාරකන් කාලයටත් මෙහෙම දේවල් වෙනවනේ’ යැයි කියමින් මෝටර් රථය ඉදිරියට ම ධාවනය කරන ලෙස රියැදුරුට උපදෙස් දුනි. එහෙත් වැඩි දුරක් යෑමට නොලැබුණි.

මාරාවේශව පැමිණි බිහිසුණු චණ්ඩ උදම් රළ ඒ වන විටත් ලංකාවේ පමණක් නොව ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය වැනි ආසියාතික රටවල් කීපයක ම විශාල දේපළ සම්භාරයක් සමඟින් ජීවිත ගණනාවක් මහ මුහුදට ඇදගෙන ගොස් තිබිණි. කාවන්තිස්ස රජු දවස සිදු වූ මහමුහුද ගොඩගැලීමක් ගැන පුවතක් බණ පොතින් අසා තිබුණ ද දන්න හත්මුතු පරම්පරාවක හෝ එවැනි සිදුවීමක් අසා නොතිබූ ජනයෝ ඉන් ගැලවීමක් නොදැනම මහමුහුදට බිලි වූහ. මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක මාහිමිපාණෝ ද සාගර පත්ලේ සැඟවී ගියහ.

ධර්ම දේශනයෙන් ද ලේඛනයෙන් ද එකසේ සමත්කම් පෑ උන්වහන්සේ එකල අතලොස්සක්ව පැවැති ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්ට නැතිව ම බැරි සම්පත් දායකයෙක් වූහ. ධර්ම දේශනා සඳහා තෝරාගත් ශෛලිය උන්වහන්සේට ම ආවේණික එකක් විය. එසේම තෝරාගත් බස් වහර ඉතා සරල එකක් වූයෙන් බොහෝ උවැසි උවැසියෝ උන්වහන්සේගේ ධර්ම දේශනාවලට ඇලුම් කළහ. ඒ නිසා ම උන්වහන්සේට සැදැහැවතුන්ගේ විවිධ ආරාධනාවන් සඳහා ලංකාව පුරා ම වැඩම කිරීමට සිදු විය. කුඩා වියේ පටන් පුරුදු කළ ලේඛන කලාවට කෙතරම් ඇලුම් කළේ ද යත් විහාරස්ථානයේ සිටින සෑම අවස්ථාවක ම පුස්තකාලයේ ලියන මේසය මත කාලය ගෙවීමට ම කැමැති විය. කවරෙකු හෝ පැමිණ වැඩකට නැති දෙයක් කතා කරනවාට කොහෙත්ම කැමැති නැත. එසේ වන අවස්ථාවන්හි නළල රැලි ගැසීම ස්වාභාවික ය. එහෙත් නොදන්නා කෙනෙකු වුව ද පැමිණ ධර්ම ශාස්ත්‍රීය මාතෘකාවක් කතා කරන්නේ නම්, මීගොඩ හාමුදුරුවන්ට විවේකය ද ඇත. ආ තැනැත්තාට විවිධ සංග්‍රහ ද හිමි ය. උන්වහන්සේ සෑම වසරකම පෙබරවාරි මස උපන්දිනය සිහිපත් කරනුයේ අඩුම තරමින් අලුතින් එක ග්‍රන්ථයක් හෝ මුද්‍රණද්වාරයෙන් එළිදක්වා සඟසතු දානයක් පිරිනැමීමෙනි. බොහෝ විට පොත පිළිගැන්වීම කරනුයේ මවට හෝ ස්වකීය ගුරුදේවයන් වහන්සේලාට ය. සුනාමි ඛේදවාචකය හේතුවෙන් වසර 59 කින් දිවිසැරිය නිම කරන විට උන්වහන්සේ ‘බුදුසමය හා ජන ජීවිතය’, ‘දැහැමි සිතුවිලි’, ‘සදහම් සිතුවිලි’, ‘කඨිනවිනිච්ඡය’ ආදී මහනීය ග්‍රන්ථ 50කට අධික සංඛ්‍යාවක් පාඨකයන්ට ප්‍රදානය කිරීමට සමත් වූහ. බුදුසරණ ආදී පුවත්පත්වලට නිතර ම ලිපි සැපයූහ.

පරිවේණාචාර්යවරයකු ලෙස අධ්‍යාපන ක්‍ෂේත්‍රයට එක් වූ උන්වහන්සේ කොළඹ හුණුපිටිය ශ්‍රී ඥානේශ්වර පිරිවෙනෙහි හා හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනෙහි සිව් වසරක් උගන්වා ඇත. අනතුරුව පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පිවිස බඩල්කුඹුර කනිටු විදුහල, කළුබෝවිල බුද්ධඝෝෂ විදුහල, කොළඹ මහාබෝධි විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය යන පාසල් කීපයකම උගන්වා ඇත. පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ උන්වහන්සේ අපවත් වන විට එහි පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය ධුරය ඉසිලූහ.

මහාචාර්ය කොටගම වාචිස්සර හිමිගෙන් පසුව පාමංකඩ ප්‍රදේශයෙන් විශ්වවිද්‍යාලයක මහාචාර්ය ධුරයකට පත් භික්ෂූන් වහන්සේ නමක් වූයේ නම්, ඒ මීගොඩ පඤ්ඤාලෝක හිමියන් වීම ද විශේෂත්වයකි. කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා විනයගරුක ව හා ශික්ෂාකාමීව හැදෙනු වැඩෙනු දැකීම උන්වහන්සේට මහත් ආස්වාදයකි. මනාකොට සිවුරු පොරවා කෙස් රැවුල් කපා පිළිවෙළට සිටින කුඩා ස්වාමීන් වහන්සේ නමක් දුටු විට මුව නොසෑහෙන්න අගය කොට උන්වහන්සේ විසින් රචිත පොත් මිටියක් තෑගි දීම ද මහාචාර්ය පඤ්ඤාලෝක හිමිගේ සිරිතය. කොළඹ හා දෙහිවල සීමාවෙන් වන ඇළ ආසන්නයේ පිහිටි බිම්කඩ මිලට ගෙන බෝධිය පමණක් තිබූ බිම සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත පින් බිමක් බවට පරිවර්තන කළහ. ආරම්භක අවස්ථාවේ තමන් වහන්සේට පිහිට වූ දායකයන් පිළිබඳව නිරතුරු කෘතවේදීව සිහිපත් කිරීම උන්වහන්සේගේ සිරිතක් විය. ගුණ නුවණින් දියුණුව ලක් සසුනඹර සුදීප්තිමත් කළ ප්‍රඥාලෝකය අඩුම තරමින් තවත් දශකයක්වත් නොනිමී දැල්වුණි නම් බුදුසසුනටත්, ධර්ම ශාස්ත්‍රීය ලෝකයටත් සිදු වන්නට තිබූ සේවය ගිනිය නොහැකි තරම්ය.

අපවත් වී වදාළ මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හිමිටට උතුම් නිවන් සැප

ලැබේවා!

කොළඹ මාලිගාකන්ද

විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය

පාමංකඩ ශ්‍රී මහා විහාරාධිකාරී

ශාස්ත්‍රපති වල්පොළ

සිරි පියරතන හිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT