Home » කැමිලා රැජින තේ බිව්ව කුඩා දැරිවි කවුද ?

කැමිලා රැජින තේ බිව්ව කුඩා දැරිවි කවුද ?

by chanaka
December 26, 2023 10:27 am 0 comment

බ්‍රිතාන්‍යයේ කැමිලා රැජින මොළයේ ගෙඩියක් ඇති ගැහැණු දරුවෙක් සමඟ වින්ඩ්සර් කාසල් මාලිගයේ දී සවස තේ සංග්‍රහයකට එක්ව ඇති අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිය ජීවිතයේ වැඩි කාලයක් රසායනික චිකිත්සා ප්‍රතිකාර සඳහා ගත කළ මේ කුඩා දැරියට රැජින සමඟ තේ පානය සඳහා වින්ඩ්සර් මාලිගයට ආරාධනා කර ඇත.

හත් හැවිරිදි ඔලිවියා ටේලර් දැරිවියට මොළයේ ගෙඩියක් ඇති අතර එය ඇයව අන්ධභාවයට පත් කර තිබෙන බව සදහන් ය.

කලින් පටිගත කරන ලද කිංග්ස් නත්තල් කැරොල් වැඩසටහනකට බකිංහැම් මාලිගයේ ගායනා කණ්ඩායමක් සමඟ ඔලිවියා ගී ගායනා කළ බව කැමිලා රැජින දැනගත් පසු ඇයට මෙම ආරාධනාව සිදු කර තිබුණි.

කුඩා දැරියට බිස්කට් එකක් සමඟ මේසයක අසුනක් තිබුණු අතර ඔලිවියා, රැජින විසින් වත් කරන ලද ඇගේ තේ කෝප්පයේ පළමු උගුර බීමෙන් පසු “මම තේ වලට ආදරෙයි” යැයි කීවාය. එයට රැජින පිළිතුරු දෙමින් “ඔහ්, ඔබ තේ වලට ආදරෙයි. ඔන්න ඔහේට දැන් ඉඳන් තේ බොන්න පුළුවන් වෙයි.” යනුවෙනි.

කුඩා ඔලිවියා මෙහිදී රැජින වෙනුවෙන් නත්තල් ගීතයක් ද ගායනා කළාය. මෙම හමුවේ දී ඔලිවියා පැවසුවේ “රැජින හමුවීමට තමා ආදරය කළ” බවයි.

ඔලිවියා සමඟ සිව් හැවිරිදි ඇගේ බාල සොහොයුරිය මෙන්ම ඇයගේ පියා සහ මව ද මේ සදහා පැමිණ සිටි අතර රැජිනගෙන් තෑගි රාශියක් ද ඔවුන්ට හිමි විය.

ඔලිවියාගේ මව වන ලීසා, රැජින හමුවට පැමිණීමට පෙර ඔලිවියාට මාලිගාවේ ඇතැම් දේ පිළිබඳ විස්තර කර තිබුණු බව ද සදහන් වේ.

එසේම මේ දරුවන්ට මාලිගාවේ කොටස් ගවේෂණය කිරීමට අද්විතීය අවස්ථාවක් ද රැජින ලබා දුන්නේය. එහි දී නත්තල් ගසක්, පහන් කූඩුවක වීදුරු කොටස්, රාජාභිෂේක භාණ්ඩවල අනුරූ ස්පර්ශ කිරීමට ද කුඩා ඔලිවියාට අවස්ථාව ලැබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT