Home » මිලියන 14කට වැඩි කේරළ ගංජා කිලෝ 35ක් නාවික හමුදා දැලේ

මිලියන 14කට වැඩි කේරළ ගංජා කිලෝ 35ක් නාවික හමුදා දැලේ

by gayan
December 26, 2023 1:00 am 0 comment

රුපියල් මිලියන 14කට අධික දළ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයේ පෙරේදා (24) කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් වෙරළ ප්‍රදේශයට පාවී ආ කේරළ ගංජා කිලෝ තිස් පහකට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඬපැවැත්වීමට නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථාන ගතකිරීම‍ මඟින්, වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයේ සිදු කළ මේ විශේෂ සෝදිසි මෙහෙයුමේදී වෙරළ ප්‍රදේ ශයට පාවී ආ සැක කටයුතු උරයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී එම උරයේ පාර්සල් දාසයක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 35යි ග්‍රෑම් 100ක පමණ තොගයක් (තෙත සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

නාවික හමුදාව විසින් කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙන මේ කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 14කට අධික වෙතැයි විශ්වාස කෙරේ. මේ කේරළ ගංජා තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බව නාවික හමුදාව පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT