Home » හෙළ බසට පෙම් බඳින දරුවන්ට ගගනගේ ‘හෙළ බස් ලකර’ අත්වැලක්

හෙළ බසට පෙම් බඳින දරුවන්ට ගගනගේ ‘හෙළ බස් ලකර’ අත්වැලක්

by gayan
December 26, 2023 12:58 pm 0 comment

මව්බසට වඩා ඉංග්‍රීසි භාෂාව කෙරෙහි දරුවන් යොමු කිරීමට මවුපියන් වැඩි උනන්දුවක් දක්වන අවධියක, සිංහල භාෂාව නිවැරදිව ලිවීම පමණක් නොව උච්චාරණය පවා වරද්දන සමාජයක, පාසල් දරුවන්ට නිවැරදි ලෙස සිංහල භාෂා දැනුම ලබා දීමේ අරමුණින් මහනුවර විද්‍යාර්ථ විදුහලේ අධ්‍යාපනය ලබන ගගන අභිෂේක් යටිවාවල සිසුවා මූලික වී ‘හෙළ බස් ලකර’ නමින් සංගමයක් පිහිටුවා තිබේ.

හෙළ බසට පෙම් බඳින දිවයිනේ පාසල් ගණනාවක සිසු සිසුවියන් සම්පත්දායකයන් ලෙස සම්බන්ධ කරගනිමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිංහල භාෂාවේ නිවැරදි උච්චාරණය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය වසරක පමණ කාලය තුළ ඔහු ආරම්භ කර ඇත.

එහිදී දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ උලෙළක් පසුගියදා මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී ‘බස රකින සිසු පවුර – සත් අඹර දොරමඬල -2023’ යන තේමාව යටතේ සංවිධාන කර තිබිණි. එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලුකා බුලත්ගේ, කථිකාචාර්ය කීර්ති රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. ප්‍රාදේශීය, පළාත් සහ ජාතික මට්ටමට මෙම සංගම් කටයුතු ව්‍යාප්ත කර ඇති අතර, වර්ෂ පූර්ණ සැමරුමට පාසල් 14ක සිසු සිසුවියෝ එක්ව සිටියහ. ‘බලන් කඩතුරා හැර දෑසේ’ නමින් පාසල් දරුවන් අතර පැවැත්වූ සිංහල භාෂා දැනුම පිළිබඳ ලිඛිත තරගයේ සහ මාර්ගගත ක්‍රමයට පැවැත්වූ රචනා හා පද්‍ය තරගවලින් ජය ලැබූවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණි. භාෂා දැනුම පිළිබඳ ලිඛිත තරගයෙන් මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ තිරණ්‍යා ලෝචනී, ස්වර්ණමාලි බාලිකා විදුහලේ අනුසරා අභිෂේකනී, විද්‍යාර්ථ විද්‍යාලයේ ඩී. කේ. අරුණ ශාන්ත, පන්නල ජාතික පාසලේ නවෝද්‍යා නෙත්මිණී සහ රත්නපුර සීවලී විදුහලේ නිම්නා සේසධී යන සිසු සිසුවියන් ඇගයුමට ලක් වූහ.

මාර්ගගත ක්‍රමයට පැවැත්වූ තරගාවලියේ ජය රුවිනි නදීකා සහ පාරමී ජයසිංහ යන සිසුවියන් විසින් හිමි කරගනු ලැබූහ.

අසේල කුරුළුවංශ මධ්‍යම පළාත් සමූහ නිහාල් ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT