Tuesday, May 13, 2025
Home » දකුණ හෙල්ලූ “සංකු” ඇතුළු 13ක් සෙල්ලකතරගම හෝටලයක දී දැලේ

දකුණ හෙල්ලූ “සංකු” ඇතුළු 13ක් සෙල්ලකතරගම හෝටලයක දී දැලේ

by gayan
December 26, 2023 1:00 am 0 comment

ලංකාවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයේ දකුණේ ප්‍රබලයකු ලෙස කටයුතු කරන “සංකු” නමැත්තා ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු මෝටර් රථ දෙකක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටියදී තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 23 වැනි දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කතරගම පොලිස් ස්ථානයට භාර දී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාතේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ප්‍රබල පුද්ගලයකු හා සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයකු බවට අනාවරණය වී ඇති සුදුවැල්ල, නලාගස්දෙණිය, හික්කඩුව පදිංචි “සංකු” නමැති අය ඇතුළු සැකකරුවන් 13 දෙනෙකි. අත්අඩංගුවට පත් අනෙකුත් සැකකරුවන් හික්කඩුව,තෙල්වත්ත, ඌරගස්මංහන්දිය, බළපිටිය හා අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. පසුගිය දින කිහිපය පුරා ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු ‘යුක්තිය’ මෙහෙයුම යටතේ දිගින් දිගටම විවිධ ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම හේතුවෙන් මෙම ජාවාරම්කරුවන් සෙල්ලකතරගම පිහිටි මෙම හෝටලයට පැමිණ සැඟව සිටීමට උත්සාහ කර තිබේ. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. වැටලීමේ දී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 8790ක් හා ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිල දී ගත් බවට සැක කෙරෙන සුදු පැහැති wezel වර්ගයේ මෝටර් රථයක් හා කළු පැහැති Wagan R වර්ගයේ මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් 13 දෙනා මෝටර් රථ දෙක හා හෙරොයින් සමඟ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කතරගම පොලිස් ස්ථානයට භාර දී තිබේ.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT