Tuesday, May 6, 2025
Home » 10,000කට ඉඩම් අයිතිය පැවරීම ජනවාරියේ

10,000කට ඉඩම් අයිතිය පැවරීම ජනවාරියේ

ජනපතිගේ උරුමය වැඩසටහනින්

by manjula
December 27, 2023 1:05 am 0 comment

දැනට භුක්තිවිඳින ඉඩම්වලට පරම අයිතිය සමඟින් ‘නිදහස් ප්‍රදාන පත්‍ර’ නිකුත් කිරීම අදියර තුනකින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලියේ සඳහන් “උරුමය” වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍ර දස දහසක් ලබන වසරේ ජනවාරි මස අවසන් වන විට ලබා දීමට රජය සැලසුම් කර තිබේ. 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ලබා දීම සිදු කෙරේ. ඔවුනට එම ඉඩම්වල අයිතිය නොමැති වීමෙන් ඒවා තම අවශ්‍යතා සහ සංවර්ධන කටයුතුවලට යොදා ගැනීමේදී සහ ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුව තිබේ.

එම ගැටලු අවම කර ගොවි ජනතාව ප්‍රමුඛ ජනතාවට අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත සංවර්ධනය කර භුක්ති විඳින ඉඩම්වල පරම අයිතිය පවතින නීති රාමුව තුළ ඉටු කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙවර අය වැය මඟින් ඉදිරිපත් කළේය. මෙම වැඩසටහන සඳහා පසුගියදා (11) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

ලබන වසරේ ආරම්භ කෙරෙන මෙම වැඩසටහන වසර කිහිපයක් තුළ ඉටු කිරීමට අපේක්ෂා කෙරේ. එම අනුමැතිය පරිදි උරුමය වැඩසටහන මඟින් ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබා දී ඇති ඉඩම්වලට කොන්දේසි සහිතව නිකුත් කර ඇති අවසර පත්‍ර සහ දීමනා පත්‍ර වෙනුවට නිදහස් ප්‍රදාන පත්‍රයක් නිකුත් කිරීම අදියර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. මේ වන විටත් අයැදුම් කර ඇති අය සඳහා ලබන ජනවාරි මස ප්‍රදාන පත්‍ර නිකුත් කෙරෙනු ඇත.

මේ යටතේ සිය අවසර පත්‍ර සහ දීමනා පත්‍ර ස්වකීය කැමැත්තෙන් රජයට භාර දෙන අය සඳහා නිදහස් ප්‍රදාන පත්‍ර සකස් කෙරෙනු ඇත.

මෙම ක්‍රියාවලිය සඳහා දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල, අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල සහ අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලවල “උරුමය ඒකක” ස්ථාපිත කෙරේ. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් එම රජයේ ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT