Tuesday, May 6, 2025
Home » අමරණීය මතක රැසක් ඉතිරි කළ මැද මාවතේ පෙරගමන්කරු එච්.ඩී.
ඊයේ (26) දිනට යෙදී තිබුණ එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ 18 වැනි ගුණසැමරුම වෙනුවෙනි

අමරණීය මතක රැසක් ඉතිරි කළ මැද මාවතේ පෙරගමන්කරු එච්.ඩී.

by thanushika
December 27, 2023 12:20 am 0 comment

ඒ. ඩී. රන්ජිත් කුමාර

“1970 දශකයේ සිංහල සිනමාවේ කිසියම් වෙනසක් කළ චිත්‍රපටයක් “සිකුරුලියා” බව තවමත් මා හමුවන බොහෝ දෙනෙකු ප්‍රකාශ කරති. ප්‍රථම වරට අලුත් නළුවෙක් සාමාන්‍ය ප්‍රමාණයට මිටි අඟුටුමිට්ටෙකුට ප්‍රධාන චරිතයට මගේ ප්‍රථම නිර්මාණයේදීම ඉදිරිපත් කිරීමට මට සිතුණේ ඇයි? ගතානුගතික සිනමා කලාව තුළින් පටන් නොගෙන වෙනස් කථාවක් සමඟ සිනමාවට පය තැබීමට ලද ධෛර්යය ගැන සිතන විට, එය තරුණකම හා මා සිනමාවට පය තැබීමට ලද ධෛර්යය ගැන දැනෙන විට, එය තරුණකම හා මා සිනමාව තුළ පසු කලෙක නව අත්හදා බැලීම් කිරීම පිළිබඳ කිසියම් පූර්ව සලකුණය යයි සිතේ. යුගයෙන් යුගයට හසුරුවන ලද අලුත් තේමාවන් සහ නවතම නළු නිළියන්, වේදිකාව සමඟ සම්බන්ධතාව මේ සියල්ල “සිකුරුලියා” තුළින් ලද ධෛර්යයි.”

1975 වසරේදී නවක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන එච්.ඩී. ප්‍රේමරත්නයන් “සරසවිය” පත්‍රයේ විශේෂාංගයක් සඳහා ගිය අවස්ථාවේ එසේ මට කීවේය.

“සිකුරුලියා” ගෙන් පටන් ගත් ප්‍රේමරත්නගේ සිනමා සෞන්දර්ය චාරිකාව අපේක්ෂා (1978), සසරක පැතුම් (1980), පරිත්‍යාග (1980), හස්ති වියරුව (1983), දෙවෙනි ගමන (1984) ආදර හසුන (1986) මංගල තෑග්ග (1987) “සහරාවේ සිහිනය” (1990), පාලම යට (1990), කුලගෙය (1992), සප්ත කන්‍යා (1993), සෙයිලම (1997), විසිදැල (1997), මන්දාකිණි (1997), කිණිහිරියා මල් දක්වා දිගු ගමනක් ගියේය. තිරයට ආවේ නැති චිත්‍රපට අතර සිරියහන, උඩු සුළඟ ද වෙයි. ඔහුගේ චිත්‍රපට දේශීය සම්මාන රැසක් ද ජගත් සම්මාන උලෙළවල ශ්‍රී ලංකාව නියෝජනය කළේය. හවායි උලෙළ, රොටර් ඩෑම් – නෙදර්ලන්තය. ටෂ්කන්ට්, ඉන්දියානු උළෙල, ජර්මනියේ මියුනික් උලෙළ, සිංගප්පූරු උලෙළ මේ අතර වෙයි.

වත්තල තෙළඟපාත කල්‍යාණ මාවතේ 1944 ජනවාරි 27 වැනිදා උපන් හපුආරච්චිගේ දොන් ප්‍රේමරත්න අධ්‍යාපනය ලැබුවේ කැලණියේ ගුරුකුල විද්‍යාලයෙනි. සිනමාව ගැන උනන්දුවෙන් සිටි ඔහු තම නිවසට යාබදව පිහිටා තිබූ වත්තල ගැමුණු සිනමාහලේ ප්‍රදර්ශනය කළ චිත්‍රපට සියල්ලම නොනිත් ආසාවෙන් නැරඹුවේය. ඊට අනුබලය ලැබුණේ පන්තියේ සිටි කලාවට ළැදි මිතුරන්ගේ ආභාසයයි. ඔවුන් සියලු දෙනාම පසු කලෙක සිනමා ලෝකයේ ද මාධ්‍ය ලෝකයේ ද බැබළූහ.

ඔවුන් අතර ඩොනල්ඩ් කරුණාරත්න (සම්මානනීය කැමරා ශිල්පී විමල් කුමාර ද කොස්තා (ප්‍රවීණ නළු) පතිරාජ එල්.එස්. දයානන්ද, ප්‍රේමවීර ගුණසේකර යන (චිත්‍රපට අධ්‍යක්ෂකවරු) ද කරූ හීනටිගල (චිත්‍රපට නිෂ්පාදක) , කේ. ඒ. විජයරත්න (චිත්‍රපට අධ්‍යක්ෂ) කැමරා ශිල්පී, මියුලන් පෙරේරා (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී) එකම පාසල් මිතුරිය මාලිනී ෆොන්සේකා (සිනමාවේ නිළි රැජින) කැපී පෙනෙති.

මිත්‍ර සමාගම චිත්‍රපට ගැන කතා කරන විට ප්‍රේමරත්නට ද චිත්‍රපට උණ සෑදුණේය. ප්‍රේමරත්නගේ පියා ඇලෝසිංඤ්ඤෝ, පුතාගේ සිනමා උණ නැති කිරීමට මඟක් ලෙස තමා සේවය කළ කොම්පැනියේ රැකියාවක් ලබා දීමට සිතුවද එය ද නිෂ්ඵල විය. පසුව පියා ප්‍රේමරත්නව මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට යොමු කළේය. එහෙත් ප්‍රේමරත්නගේ සිත තිබුණේම කවදා හෝ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමටය.

කතරගම වන්දනාවට ගෙදර කට්ටිය සමඟ ගිය ගමනේදී ප්‍රේමරත්නගේ දෛවය නොසිතූ ලෙස වෙනස් කළේය. ප්‍රේමරත්නලා නවාතැන් ගත්තේ රාමක්‍රිෂ්ණ මඩමේ ආලින්දයේ පැදුරු දමාගෙනය. මේ මඩමේ හිටි ගමන් තමා දන්නා හඳුනන මුහුණක් දැක ප්‍රේමරත්න පුදුමයට පත් විය. ඔහු සිනමා ලෝකයේ දුෂ්ටයෙකු ලෙස රඟ පෑ විශිෂ්ට නළු පියදාස ගුණසේකරය. මඩමේදී කෙසෙල් කොළයක කෑම කමින් සිට ඉක්මනට එය ගිල ඔහු සොයා ගියේය. පියදාස කෑමෙන් පසු සක්මන් කරමින් සිටියේය. ඉඩ ලද වේලාවක් බලා ඔහු වෙත ප්‍රේමරත්න ළං වුණේය.

“පියදාස අයියා, මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ”

“මේ ළමයා වන්දනාවේ ආවද? ”

“ඔව්”

ප්‍රේමරත්න පියදාස ‘සාරවිට’ චිත්‍රපටයේ පොඩි රාලහාමිගේ රඟපෑම අගය කර කතා කළේය.

“පියදාස අයියා මම සිනමාවල රඟපාන්න ආසයි. ”

“මම මේ ළමයට මගේ ඇඩ්රස් එක ලියලා දෙන්නම්. ඉරිදා උදේ 10ට විතර එන්න. ”

මිටින් හල කුරුල්ලෙකු මෙන් දුව ගොස් බස් තුණ්ඩුවක් හා පෑනක් රැගෙන විත් ඇඩ්රස් එක ඔහු ලියා ගත්තේය.

ඉරිදා කියූ පරිදි මාළිගාකන්දේ කැටවලමුල්ලේ නිවසට ගිය ප්‍රේමරත්නගේ තොරතුරු අසා, රයිට්, පෑඩ් එකේ කොළයක් කඩා ඩොමී ජයවර්ධනට ලිපියක් ලියා දුන්නේය. ඩොමී යනු දුෂ්ට රංගනයේ පුරෝගාමී විශිෂ්ට නළුවෙකි. ඔහු ඒ දිනවල තම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ “දරු දුකේ” වැඩ ආරම්භ කර තිබුණි. ලිපිය දුටු ඔහුට ඩොමී අත හිත දුන්නේය. එය ඉතා දුෂ්කර ගමනකි. සීත පළාතක තේ වත්තක උඩ රූ ගත වීම් තිබුණි. වරප්‍රසාද ලත් අයට පමණි ගමනා ගමන පහසුකම් ලැබුණේ. සැතපුම් ගණනක් පයින් ගියේය. මුලින්ම ඔහුට තිබුණේ ඩොමීට ‘ක්ලැපර් බෝඩ් එක’ ඇලීමේ අභ්‍යාසය ලබා දුන්නේය. ඒ අතර ඩොමී පොලිස් භාරයට ගත් පොලිස් කොස්තාපල්වරයකු ලෙස රඟපෑමට අවස්ථාව දුන්නේය. ඩොමීට මාංචු යුවළ දමන්නේ ඔහුය. පසුව සහාය අධ්‍යක්ෂණයට ඔහු දායක විය. “පූජිතයෝ” චිත්‍රපටයේ ද ඔහුට පසුව සහාය අධ්‍යක්ෂකවරයකු වීමට අවස්ථාව ලැබුණි.

ප්‍රේමරත්න 1966 “යකාගේ කම්මල” වේදිකා නාට්‍ය‍ෙය් දෙබස් රචනා කළේය. ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ පියාගේ අසල්වාසී නිවැසි හිතවතෙකුගේ මාර්ගයෙන් ටයිම්ස් ආයතනයෙන් නිකුත් වන “ඩේලිමිරර්” පත්‍රයේ සෝදුපත් බලන්නෙකු ලෙස රැකියාව ලබා ගත්තේය. ‘ලංකාදීප’ ආපණ ශාලාවේ තේ බොන්න යන අවස්ථාවල එන සිනමාවට ඍජුවම සම්බන්ධකම් ඇති කර්තෘ මාණ්ඩලිකයන් වූ ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ධර්ම ශ්‍රී කල්දේරා, විමලවීර පෙරේරා, සමන් තිලකසේන, සිරිපාල තිලකසේන ආදීන් කරන කතා ප්‍රේමරත්න අසා සිටියේ කුහුලෙනි.

‘ඩේලිමිරර්’ පත්‍රයේ සේවය කරන අතර විවේක වේලාවලට දී ඔහු චිත්‍රපට තිර නාටකයක් ලිව්වේය. කැලණියේ ගුරුකුලයේ ඉගෙන ගන්නා කාලයේ ඔහු සිංහල පන්තියට නියමිත උම්මග්ග ජාතකය පොතේ උපහාස රසය විඳි කාල ගෝල කතාවේ අභාසයෙන් ඔහු ‘සිකුරුලියා’ තිර නාටකය ලියා ශූර තිරනාටක රචක ධර්මසිරි ගමගේට පෙන්නුවේය. ඔහු තිර නාටකය මැනවින් සකසා දුන්නේය. ජෝර්ජ් ලෙස්ලි ද උපකාර කළේය.

“ලස්සන කෙල්ලෙකුයි, මිටි මිනිහෙකුයි විවාහ වුණොත් කෝම හිටී දැයි” ප්‍රේමරත්න මගෙන් ඇසුවේ දිනක් ලංකාදීප කැන්ටිමේදීය. ඔහු මා හඳුනාගැනීම සිදු වූයේ ඥාතියෙකුගේ මංගල උත්සවයකදීය. මිටි මිනිහාගේ චරිතයට තෝරාගත් බන්දුල ගලගෙදරගේ ඡායාරූපයක් පෙන්වා ඔහු මගෙන් එදා විමසීය.

“හොඳ අදහසක්” මා කියා ඔහු දිරි දුන්නේය.

ප්‍රේමරත්න ඉතා අසීරු ගමනකින් චිත්‍රපටය පටන් ගත්තේය. වසිරුල් අන්සාරි, ටියුඩර් පෙරේරා, ඇන්ටනි ප්‍රනාන්දු, මිල්ටන් රණසිංහ යන හිතවතුන්ගේ සුළු ව්‍යාපාරිකයන්ගේ ආධාරයෙන් චිත්‍රපටය ඇරඹීය. ජෝ, විජය, සුවිනීතා, පියදාස, රූබි, රොබින්, ඇලෙක්සැන්ඩර්, කොස්තා ප්‍රධාන චරිතවලට තෝරා ගත් ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස ක්ලැරන්ස් විජේවර්ධනව හඳුන්වා දුන්හ. ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි, සීලවිමල යන ගීත රචකයන් උදවු කළේය. ක්ලැරන්ස් ගීතයක රචනා කළේය. මේ ගීත සියල්ල අතිශය ජනප්‍රිය විය. “සිකුරුලියා බොළඳ ලියා වසන්තයේ මල් කැකුළයි” “ඔකඳවෙලා” “දිලි දිලිසෙන එළියක්” මේ ගීත අතර සුවිශේෂය. චිත්‍රපටය අතිශය ජනප්‍රිය වූවත් ප්‍රේමරත්නට ඒ සඳහා ලැබුණේ රුපියල් 3,000ක මුදලකි. ප්‍රේමරත්න අධෛර්ය නොවීය. 1975 සිට 2001 දක්වා චිත්‍රපට 16ක් අධ්‍යක්ෂණය කළේය. විවිධ සරල තේමාවන් රැගත් චිත්‍රපට කිරීමේ අභියෝගය ජය ගත්තේය. ඉතා සුළු සිද්ධියක් මුල් කරගෙන අපූරු චිත්‍රපට නිර්මාණය කළේය. අලුත් නළු නිළි පරපුරක් හඳුන්වා දුන්නේය. අලුත් ගීත රචකයන්, ගායකයන් හඳුන්වා දී ප්‍රතිඵල ලබාගත්තේය. ලස්සන ජනප්‍රිය ගීත සමුද්‍රයක් වූ “සඳ තනිවෙලා අහසේ”, “කලක් ඇවෑමෙන් පෙරම් පුරා” ‘සොඳුරු ලොවට මල් වැහැලා” “චාමර සැලුනාවේ” “සුදු මුදු රළ පෙළ”, “වාසනා වේවා”, “එක යායේ කකා වැටී” “උන්මාද වූ ප්‍රේමාදරේ”, “වලාකුළක් ගෙන” “වත්සුණු තවරා” “සුවඳ දැනී දැනී” “දූවිල්ලෙන් වත්සුණු තවරා” ඉන් කිහිපයකි.

ගුණදාස ලියනගේ විසින් ලියූ “මකර රජුගේ දූ” පරිවර්තන සංග්‍රහයේ එන “අමුත්තාගේ ලියමන” ඇසුරෙන් ප්‍රේමරත්න “ආදර හසුන” චිත්‍රපට තිර නාටකය ලියූ අතර “සිළුමිණේ” පළ වූ තලංගම ජයසිංහගේ “වියරු මුහුද” චිත්‍රකතාව ඇසුරෙන් “සප්ත කන්‍යා” චිත්‍රපට කතාව සකස් කරගෙන උපරිම ප්‍රතිඵල ලබා ගත්තේය.

වරක් ඔහු තම ජීවිතයේ අවදානම් අභියෝගයට මුහුණ දෙමින් තම ගේ දොර උකසට තබා “සප්ත කන්‍යා” චිත්‍රපටය නිෂ්පාදනය කළේය. එය ඔහුගේ චිත්‍රපට අතර ජනප්‍රියම, ආදායම් ලැබූ චිත්‍රපටය විය. එම චිත්‍රපටය සරසවිය සම්මාන හතකින්ද, ජනාධිපති සම්මාන පහකින් ද, ස්වර්ණ සංඛ සම්මාන තුනකින් ද ocic සම්මාන දෙකකින්ද සම්මානයට පාත්‍ර විය. එහෙත් ඔහුගේ හොඳම චිත්‍රපටය ලෙස විචාරක පැසසුම් ලැබුවේ කුලසේන ෆොන්සේකා විසින් ලියූ “පාලම යට” නවකතාව ඇසුරෙන් අධ්‍යක්ෂණය කළ ‘පාලම යට’ චිත්‍රපටයයි. මේ චිත්‍රපටය සරසවිය සම්මාන 8කින්ද, ස්වර්ණ සංඛ සම්මාන 6කින්ද, ocic සම්මාන 6ක්ද හිමිකර ගනිමින් ජය කෙහෙළි නැංවීය. සරසවි සම්මාන උලෙළේ දී ජනප්‍රිය චිත්‍රපටය මෙන්ම හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දෙකම දිනූ චිත්‍රපටය විය.

සම්මාන පිට සම්මාන දිනූ ප්‍රේමරත්නගේ චිත්‍රපට ජාත්‍යන්තර චිත්‍රපට රැසක ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඇතැම් විචාරකයන් ඔහු හැඳින්වූයේ “මැද මාවතේ සිනමා කරුවා ලෙසය. ඇතැමෙකු හැඳින් වූයේ “පීරිස්ලා දෙදෙනකු අතර මැදි වූ සිනමාකරු” කියාය. මේ පීරිස්ලා දෙදෙනා නම් ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුනිල් සෝම පීරිස්ය. කලක් ඔහු ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළේය. “සඳුන් ගිර ගිනි ගනී” “සිහින දනව්ව” “දුලාරි” ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යය. “මිනිස්සු හා අභිෂේක” චිත්‍රපට ප්‍රේමරත්න නොකළ අතරමඟ නතර වූ චිත්‍රපටය. මේ මහා සිනමාකරුගේ පුතා රංග ප්‍රේමරත්න ජාතික රූපවාහිනියේ නිෂ්පාදකවරයෙකි.

ප්‍රේමරත්න 2005 දෙසැම්බර් 26දා ජීවිතයෙන් සමු ගත්තේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT