කළුතර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් අතර වූ පොර බැදීමක් අතරතුරදී බිම ඇදවැටී තුවාල ලැබූ රැඳවූවකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (26) අලුයම මියගොස් තිබිණ.
මෙසේ මියගොස් ඇත්තේ මෝල්කාව, ප්‍රදේශයේ පදිංචිව සිටි පී.ජී. සුනිල් නමැති 46 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
සොරකම් සම්බන්ධව සැකකරුවකු ලෙස ඔහු පසුගියදා (22) කළුතර බන්ධනාගාරයට රැගෙනවිත් තිබේ.
මියගොස් ඇති මෙම සැකකරු පසුගියදා (24) එම බන්ධනාගාරයේ සිරකරුවන් සමඟ පොරබැඳීමක් සිදු කර ඇති අතර ඒ අතරතුර ඔහු ඇදවැටීම හේතුවෙන් කළුතර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව එදිනම (24) සවස නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) අලුයම 3.30ට පමණ ඔහු මියගොස් ඇත. මෙම සිරකරු මත්පැන් භාවිතයට තදින් ඇබ්බැහි වී සිටියකු බවත් බන්ධනාගාරය තුළදී මත්පැන් නැති වීම නිසා යම් අසහනකාරී තත්ත්වයකින් ඔහු පසුවී සිට ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කළුතර උතුර පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර අධිකාරිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ සිද්ධියට අදාළ සිරකරුවන් කීපදෙනකුගෙන් ප්‍රශ්න කිරීම් ද සිදු කර ඇත.