Home » මුන්දලම සිංහල විදුහලේ ලක්ෂ 8ක දේපොළ සොරාගත් සිසුන් දෙදෙනෙක් මාට්ටු

මුන්දලම සිංහල විදුහලේ ලක්ෂ 8ක දේපොළ සොරාගත් සිසුන් දෙදෙනෙක් මාට්ටු

by thanushika
December 27, 2023 8:55 am 0 comment

මුදල් සොයා මුන්දලම සිංහල මහා විද්‍යාලයේත් ප්‍රාථමික විද්‍යාලයේත් කාර්යාල කාමරවලට හොර රහසේ ඇතුළු වී එහි දේපොළවලට හානි කර පරිගණක ඇතුළු රුපියල් ලක්ෂ 08කට අධික දේපොළ සොරාගත් පාසල් සිසුන් දෙදෙනෙක් මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම හා පෙරක්කුවට්ටාන ප්‍රදේශවල පදිංචි සිංහල මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සිසුන් දෙදෙනකු බව පොලිසිය කියයි.

මෙම සිසුන්ගෙන් ප්‍රශ්න කර හෙළි වූ තොරතුරු මත විද්‍යාල දෙක බිඳ සොරාගත් භාණ්ඩවලින් කොටසක් ද සොයාගෙන තිබේ. සිසුන් දෙදෙනා විසින් මෙම වසරේ මුල් වකවානුවේ එක් අවස්ථාවක තමන් අධ්‍යාපනය හදාරන පාසලේ හා මුන්දලම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළු වී එහි තිබූ උපකරණ රැසක් විනාශ කර මුදල් සොයා ඇති බවත් එවර රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් සොරාගෙන ගොස් තිබූ බවක් පොලිසිය කියයි.

ඊට පසු නැවතත් අවස්ථා දෙකකදී මෙම පාසල් දෙකකට ඇතුළු වී මුදල් සොයා ඇති බවත් මුදල් නැති වූ විට පාසලේ වටිනා කියන භාණ්ඩ හා උපකරණ සොරාගෙන ඇති බවත් පොලිසිය කියයි.

අවස්ථා තුනකදී පාසල්වලට හානි කරමින් සොරකම් සිදු කිරීම සිදුව තිබියදී පොලිසිය නිසි ක්‍රියාත්මක වීමක් නැති බවට පාසල් බලධාරීන්ගෙන් හා පාසල් මවුපියන්ගෙන් පොලිසියට දැඩි චෝදනා පවා අවස්ථා ගණනාවකදීම එල්ල වී තිබිණි.

කෙසේ වෙතත් මුන්දලම පොලිස්ථානයේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් සැරයන් (38085) අමරසිංහ මහතා විසින් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් අදාළ සොරකම පිළිබඳ සෝදිසියෙන් සිටියදී මෙම සිසුන් දෙදෙනා සම්බන්ධව තොරතුරු ලැබී ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අවධානයෙන් සිට අත්අඩංගුවට ගැනීම කර තිබේ.

පාසලේ ගුරුවරයකු සමඟ තිබූ අමනාපකම් හේතුවෙන් මෙම සොරකමට තමා සම්බන්ධ වූ බව එක් සිසුවකු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.

මෙම සිසු සැකකරුවන් නින්ජා ඇඳුමින් සැරසී ඉදිරියේදී වෙළෙඳසල් හා නිවාස කොල්ලකෑම සඳහා සූදානමින් සිට ඇති බව ද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකු සොරා ගත් මුදල් හා උපකරණවලින් කොටසක් අලෙවි කර පාසලේ සිසුවියකට ජංගම දුරකතනයක් මිල දී ගෙන ලබා දී ඇති බවද අනාවරණය වී ඇත.

මෙම සැකකාර සිසුන් දෙදෙනා ඊයේ (26) පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මුන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතා සමඟ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති (38085) අමරසිංහ මහතා සමඟ පොලිස් සැරයන්වරුන් වන (38071) පෙරේරා, (54756) ඉල්ෂාඩ් යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT