Tuesday, May 6, 2025
Home » ප්‍රශ්නගත ඖෂධ සිද්ධිය ඇමැති කෙහෙලියගෙන් CID යට ප්‍රකාශයක්

ප්‍රශ්නගත ඖෂධ සිද්ධිය ඇමැති කෙහෙලියගෙන් CID යට ප්‍රකාශයක්

by thanushika
December 27, 2023 8:16 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ප්‍රශ්නගත ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) ප්‍රකාශයක් ලබා දී තිබේ. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි කොළඹ පිහිටි ඔහුගේ නිවෙසට ගොස් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි මෙන්ම අනෙකුත් සාක්ෂි අමාත්‍යවරයාගෙන් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිනමිණට’ පැවසීය.

එම ප්‍රශ්නගත ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ උපදෙස් පරිදි පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ තමාගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ආචාර්ය සංජය පෙරේරා මහතා විසින් බව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. එහෙත් එකී තත්ත්වය වසන් කරමින් විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් මඟින් අසත්‍ය ප්‍රචාර ගෙනයෑම හේතුවෙන් එම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සතු ලිඛිත මෙන්ම අනිකුත් සාක්ෂි, පරීක්ෂණ කටයුතු වඩාත් විධිමත්ව කරගෙන යෑමට අවශ්‍ය බවට හැඟී ගිය හෙයින් තමාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීමකට අනුව පරීක්ෂණ කටයුතුවලට සහාය වීමට ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබා දුන් බව කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නගත ඖෂධය මෙරටදී නිෂ්පාදනය කර ව්‍යාජ ලෙස ඉන්දීය බෙහෙත් සමාගමකින් නිෂ්පාදනය කළ බවට ප්‍රධාන සැකකරු විසින් පෙන්වා දීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා තොරතුරු විමසා සිටි විට ද අදාළ වංචනික ක්‍රියාව තහවුරු කර තිබීම පරීක්ෂණයට වැදගත් වේ යැයි සිතන බව යූ.ආර්. ද සිල්වා මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ. එසේම අනෙකුත් සැකකරුවන් ගෙන්වා මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රශ්න කිරීමට අදාළ රැස්වීමේ වීඩියෝ පටය අදාළ ආයතනවලින් පළමු සැකකරු සම්බන්ධ තොරතුරු විමසා බලා තිබීම සම්බන්ධ ලිපි, වංචනික ක්‍රියාවලිය දැනගත් වහාම ගෙවීම් ඉදිරියට කිරීම නැවැත්වීම සහ ඔහුට ලබා දීමට තීරණය කර තිබූ වෙනත් ඇණවුම් අවලංගු කිරීමට අදාළ ලේඛන සම්බන්ධ තොරතුරු සියල්ල පරීක්ෂණයට උපකාරී වේ යැයි සිතන බව ද ඒ මහතා සඳහන් කරයි.

පළමු සැකකරු අමාත්‍යවරයාට තර්ජනය කර එවූ ඊමේල් පණිවිඩය ද ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඇති වූ තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයා නීතිපතිවරයා දැනුවත් කර සහාය ඉල්ලා ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT