සිය පියාගේ රෝගී තත්ත්වය මෝටර් රථය අසලට පැමිණ පරීක්ෂා නොකිරීම හේතුවෙන් උරණ වී බේරුවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකුට පහර දුන් බව කියන ව්‍යාපාරිකයෙක් බේරුවල පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ පදිංචි බේරුවල නගරයේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින ව්‍යාපාරිකයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණ. පපුවේ අමාරුවකින් පෙළුණු සිය පියාව මෝටර් රථයකින් පෙරේදා (25) රාත්‍රියේ බේරුවල ප්‍රාදේශීය රෝහලට මෙම ව්‍යාපාරිකයා විසින් රැගෙන ගොස් පියාට අසාධ්‍ය බැවින් මෝටර් රථය වෙත පැමිණ පියාව පරීක්ෂා කරන ලෙස ඔහු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය. වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වී පහරදීම සිදු කර ඇති බව මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය කියයි. පහරකෑ වෛද්‍යවරයාගේ අතට ඇති වූ ආබාධයක් හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඔහු ඇතුළත් කර ඇත. වෛද්‍යවරයාට ශල්‍යකර්මයක් කර තිබෙන බවත් රෝහල් ආරංචි මාර්ග මෙන්ම පොලිසිය සඳහන් කළේය. මෙම පහරදීම ගැන පොලිසියට වාර්තා වී පැය තුනක් ඇතුළත ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි. මෙම පහරදීම මුල්කරගෙන බේරුවල රෝහලේ සියලු කාර්ය මණ්ඩල ඊයේ (26) සංකේත වැඩ වර්ජනයක් ද කර තිබේ. ඒ අනුව දෛනිකව රෝහලට පැමිණ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පද්ම කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.