මෙවර ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පුන් පෝහොය යෙදුණු ඊයේ (26) දිනයෙන් අති උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි.
සිරිත් පරිදි සමසක් පුරා පැවති ශ්‍රීපාද අවාර සමයේ රත්නපුර, පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය සහ දේවාභරණ සමන්ත කූටය කරා පෙරහර 4කින් ඊයේ (26) අලුයම වැඩම කරවනු ලැබීය.
ඒ අනුව පැල්මඬුල්ල, ගල්පොත්තාවල රාජමහා විහාරයේ සිට අවිස්සාවේල්ල, හැටන් හා නල්ලතන්නිය මාර්ග ඔස්සේ ශ්‍රීපාදස්ථානය කරා වැඩම කරවනු ලැබූ සමන් දේව ප්‍රතිමාව සහ දෙවාභරණ රැගත් රිය පෙරහර 25 දින රාත්‍රියේ ගිනිගත්හේන නගරයට ළඟා වූ අතර එහි රැස්ව සිටි ප්‍රදේශවාසි බැතිමතුන් ඊට මහත් ශ්‍රද්ධාවෙන් පුද පූජා පවත්වන අයුරු දක්නට ලැබිණි. ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කළ විශේෂ පෙරහරවල් ගමන් ගත් සෑම නගරයකදීම බෞද්ධ හා හින්දු ජනතාව මහත් උනන්දුවෙන් ඊට පූජෝපාහාර දැක්වූහ.
උඳුවප් පුර පසළොස්වක් පොහොය යෙදුණු ඊයේ (26) අලුයම යෙදුණු සුබ නැකැත් අනුව ශ්‍රීපාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් චාරිත්‍රානුකුලව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ශ්‍රීපාද පත්මය සුවඳ පැනින් දෝවනය කරවනු ලැබිණි.
ශ්‍රීපාද නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රීපාද උඩ මළුවට පැමිණ සිටි විශාල වන්දනාකරුවන් පිරිසකගේ සාධු නාද මධ්‍යයේ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ උඩු මළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කිරීමෙන් අනතුරුව සිරිත් පරිදි මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කෙරිණි. අනතුරුව ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන් විශේෂ අනුශාසනාවක් කරමින් පවසා සිටියේ, ශ්‍රීපාද වන්දනාවට පැමිණෙන බැතිමතුන් ආගමානුකූලව, සැදැහැ සිතින් පරිසර හිතකාමි ලෙස වන්දනාවේ යෙදෙන ලෙසයි.
නල්තලන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් හා රත්නපුර ශ්‍රීපලාබද්දල මාර්ගයෙන් මෙවර සමාරම්භක දිනයේදී විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වූ අතර, උඩු මළුවේ උවැසි උවැසියෝ විශාල පිරිසක් උඳුවප් පුන් පොහෝ දින පෙහෙවස් සමාදන් වී සිටියහ. විවිධ ප්‍රදේශවලින් පැමිණි බෞද්ධ සංවිධාන හා ආයතන මඟින් වන්දනාකරුවන් වෙනුවෙන් දන්සල් රැසක් මෙවරද නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ ස්ථාන කීපයකම සංවිධානය කර තිබිණි.
ඡායාරූප – සුලෝචන ගමගේ, මස්කෙළිය සමූහ, හැටන් – රංජිත්, හැටන් මධ්‍යම විශේෂ, ගිනිගත්හේන විශේෂ