Home » ජගත් ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට අයිසීසීයට ශ්‍රී ලංකාවෙන් ලිපි 2ක්

ජගත් ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට අයිසීසීයට ශ්‍රී ලංකාවෙන් ලිපි 2ක්

by manjula
December 27, 2023 1:10 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රීඩා නීතිය යටතේ ක්‍රිකට් ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් පවතින නීති උල්ලංඝනය නොවී කටයුතු කරන පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව දැනුම් දෙයි. ක්‍රීඩා ඇමැතිවරයා අයිසීසීය වෙත යැවූ එම ලිඛිත දැනුම්දීම අනුව එහි විධායක කමිටුව රැස්වී ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර, ක්‍රීඩා ඇමැතිවරයා විසින් අතුරු කමිටුව අවලංගු කිරීම සම්බන්ධව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ලිඛිත දැනුම්දීමක් කර ඇත. එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම පිළිබඳව අයිසීසීයේ අවධානය යොමු කර ඇතැයි පැවසේ. මේ ලිපි දෙකම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉදිරි විධායක කමිටුව රැස්වීමේදී සාකච්ඡාවට ගනු ඇතැයි පැවසේ.

අයිසීසීය හා ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලනය අතර, විශ්වාසය තහවුරු කර ගැනීමේ පළමු පියවර ලෙස ගැසට් පත්‍රයක් මඟින් පනවා තිබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ප්‍රසිද්ධියට පත් කළ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමේ අරමුණින් තමන් මේ තීරණය ගත් බව ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.

එහිදී ඇමැතිවරයා පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවය. එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණ ලබා ගැනීම සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් අතර, එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා දෙන අරමුදල් සැපයීම දැඩි පාලනයකට යටත් කිරීමට ද තීරණය විය. මේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම සමඟ 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට අයිසීසීය තීරණය කළේය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට දැනුම් දී සිටියේ ක්‍රීඩාව දේශපාලනික බලපෑම්වලින් තොරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT