- සමාජ මාධ්‍ය අපේ යහපතට යොදා ගන්න නම් අපි දක්ෂ විය යුතුයි
- ව්‍යාජ ගිණුම් ක්‍රියාකාරකම් වැළැක්වීමට අවශ්‍ය නීති අපේ රටේ නැහැ
- නීති ක්‍රියාත්මක කළොත් පරිගණක අපරාධ අඩු කර ගන්න පුළුවන්
පරිගණක අපරාධ සහ නව සමාජ මාධ්‍ය පිළිබඳවත් ඒ ආශ්‍රිතව සිදු වන ක්‍රියාකාරකම් පිළිබඳවත් පසුගිය කාලය තුළ දිගින් දිගටම අවධානය යොමුව තිබේ. මෙම තත්ත්වයන්ට බලපාන්නේ කුමන කරුණ ද ඒ සඳහා ගත යුතු ක්‍රියා පිළිවෙත් මොනවාද යන්න පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ ඒ. එච්. දිනිති ජයසේකර සමඟ සිදු කරන ලද සාකච්ඡාවකි මේ.
• පරිගණක සහ ඔන්ලයින් ආශ්‍රිතව සිදු වන අපරාධ පිළිබඳව සහ ඒ ආකාරයේ අපරාධ ඉහළ යාම පිළිබඳව පසුගිය දිනවල කතාබහක් ගොඩනැඟුණා. මේ තත්ත්වයට මූලික හේතුව විදිහට ඔබ දකින්නේ මොන වගේ දේවල් ද?
මේ තත්ත්වය 2020 පසු තමයි වැඩි වුණේ. එයට හේතුව විදිහට විවිධ සමාජ අර්බුද පෙන්වා දීමට පුළුවන්කම තිබුණත් වෙනත්, ප්‍රධාන හේතුවක් ඒ සඳහා තිබෙනවා විය හැකියි. අපි ඒ හේතුව කුමක්ද කියලා විමසා බැලිය යුතුයි. ඒ හේතුව සොයා අවශ්‍ය ප්‍රතිකර්මය කළ යුතුයි. ඇති වූ ආර්ථික අර්බුදය ද එයට එක් ප්‍රධාන හේතුවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.
කොවිඩ් වසංගත තත්ත්වයට පෙර මෙරට අගුල් දැමීමක් සිදු කළා. ඒ සමඟ සියලු දෙනා ඔන්ලයින් ක්‍රමය වෙත යොමු වුණා. සිදු කරනු ලැබූ සමීක්ෂණවලට අනුව පරිගණක අපරාධ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පසුගිය අවුරුදු කිහිපය තුළ විශාල වශයෙන් ඉහළ ගිහින් තිබෙනවා.
• ඒ අපරාධ ඉහළ ගිහින් කියලා ඔබ සඳහන් කිරීමට හේතුවන සාක්ෂි සහ සාධක මොනවාද?
2019 වර්ෂයේදී පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට මෙවැනි සිදුවීම් පිළිබඳ පැමිණිලි ලැබී තිබෙන්නේ දෙදහසකට මඳක් වැඩි වූ ප්‍රමාණයක්, එය 2020 දී පහළොස්දහස දක්වා ඉහළ ගිහින් තිබෙනවා. 2021 දී ඒ ප්‍රමාණය දහසයදහස ද ඉක්මවා ගොස් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ පරිගණක අපරාධ විදිහට සැලකෙන බොහෝ වැරැදි සිදු කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේයි. ඒ නිසා මේ වැරැදි නිවැරැදි කර ගැනීමට අවශ්‍ය කරනු ලබන නීති පිළිබඳව තිබෙන නීති තද නැහැ කියන අදහසේ සිටින පිරිසක් ඉන්නවා සමාජ මාධ්‍ය වැරැදියට පාවිච්චි කරන පිරිස් අතින් තමයි. අනෙක ඇත්තෙන්ම බොහෝ වංචාවලට මූලික වන්නේ ව්‍යාජ ගිණුම් නැතිනම් ෆේක් එකවුන්ට් විදිහට හඳුන්වනු ලබන ඒවායි.
• මෙවැනි ව්‍යාජ ගිණුම්වලින් සිදු වන අක්‍රමිකතා නැවැත්වීමට සිදු කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද?
මෙවැනි ව්‍යාජ ගිණුම් ක්‍රියාකාරකම් වැළැක්වීමට අවශ්‍ය නීති අපේ රටේ නැහැ. එහෙත්, අප රටට සමාගාමීව සෙසු රටවල මේ ආශ්‍රිතව වඩාත් තද නීති රීති ඇති කර තිබෙනවා. ඒ නිසා මෙවැනි වැරැදි සිදු කරන පිරිස් සහ වැරැදි ක්‍රියා වැළැක්වීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයි. ඒ ආකාරයේ නීති ක්‍රියාත්මක කිරීම මඟින් පරිගණක අපරාධ ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.
• පුද්ගලිකත්වය සහ ලිංගිකත්වය ප්‍රදර්ශනය කරනු ලබන අපහාසාත්මක දේ පිළිබඳව සිදුවන පරිගණක අපරාධ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට හැකියාවක් තිබේද?
මෙහිදී මෙවැනි දේ සඳහා මූලික වුණ කෙනා කවුද කියලා සොයා බලන්න අමාරුයි. ඒත්, අරමුණ කුමක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අප නොදැනීම අපව අන්තර් ජාලයේ, මුහුණුපොත තුළ අපව අපහරණයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා අන්තර්ජාලය භාවිතා කරන පිරිස් වගේම මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරනු ලබන අය ද ඒ පිළිබඳව හොඳ අවධානයකින් වගේම අවබෝධයකින් යුතුව වැඩ කළ යුතුයි. සමහර විට ඔබ නොදන්නවා වුණාට ඔබේ ඡායාරූපයක් බාගත කර ව්‍යාජ ගිණුමක් ඇති කර තිබෙන්නට පුළුවන්. ඒ හරහා ඔබේ රූපය, නම භාවිතා කරමින් විවිධ නොමනා දේ සිදු වෙන්න පුළුවන්.
• අද සමාජ මාධ්‍ය කියන්නේ වෙනම සංස්කෘතියක් බවට පත්වෙලා. සමාජ මාධ්‍ය මෙරට සැලකිය යුතු පිරිසකගේ ජීවිතයේ විශේෂ අංගයක් බවට පත්වයි තිබෙන්නේ. ඒ තත්ත්වය තුළ අප සමාජ මාධ්‍ය ආරක්ෂාකාරී විදිහට භාවිතා කරන්නේ කොහොමද?
අපගේ පුද්ගලික ඡායාරූප, පුද්ගලික ගමන් හා විනෝද චාරිකාවල ඡායාරූප තොරතුරු පළ කරන එක ඉතාමත් කල්පනාවෙන් සිදු කළ යුතු දෙයක්. මොකද විවිධ උපක්‍රම මඟින් මෙම ඡයාරූප ලබා ගන්නා පිරිස් ඒවා විවිධ අපරාධ, වැරැදි ක්‍රියා සඳහා යොදා ගැනීමට ලොකු ඉඩක් තිබෙනවා. මේ විදිහේ දේවල් අප හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා එවැනි කණ්ඩායම් වෙත එවැනි ක්‍රියා කිරීමට තිබෙන ඉඩ ඇහිරීම අපගේ යුතුකමක් සහ වගකීමක්. ඒ වගේම මෙතැනදී වඩාත් කල්පනාකාරී විය යුත්තේ, ළමුන් පිළිබඳ දත්ත සහ ස්ත්‍රී ප්‍රතිරූපය පිළිබඳ දත්ත සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේදී කටයුතු කළ යුත්තේ කෙසේද යන්නයි.
• අපට මේ පිළිබඳව නීති පැනවීම මඟින් පමණක් සියල්ල සිදු කිරීම අපහසුයි නේද? ඒ සඳහා ස්වයං ආචාරධර්ම පද්ධතියක්ද තිබිය යුතු නොවේද?
අනිවාර්යෙන්ම නීති පැනවීම මඟින් පමණක් සියල්ල සිදු කරන්න බැහැ, අප අතර ආචාරධර්ම වගේම ස්වයං විනයක් ද තියෙන්න ඕනෑ. එහෙම වුණොත්, අපට සමාජ මාධ්‍ය භාවිතය නිවැරැදිව සහ එහි තිබෙන සැබෑ ඵලදායිතාව මතුවන පරිදි නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා.
• මේ සඳහා යම් දැනුම්වත් කිරීම් කළ හැකියි නේද?
ඔව්. දරුවන් සහ ශිෂ්‍ය ප්‍රජාව දැනුම්වත් කිරීම කළ හැකියි. දරුවන් සහ නැඟී එන පරම්පරාව තුළ මාධ්‍ය සාක්ෂරතාවය ඇති කිරීම කළ හැකියි. එමඟින් අපට සමාජ මාධ්‍ය තුළ තිබෙන ක්‍රම එහි වැඩ කළ යුතු විදිහ පිළිබඳව නිසි හඳුනා ගැනීමක් පුරුදු පුහුණු කිරීමක් කළ යුතුයි.
• මූල්‍ය වංචාවලටත් නව මාධ්‍යවල ලොකු අවකාශයක් තිබෙනවා නේද?
ඔව්. සමහර අවස්ථාවල වාහන පිළිබඳව විවිධ දැන්වීම් පළ කරනවා. ඒ වගේම බැංකුවලින් වගේ විවිධ ඇමැතුම් සහ පණිවුඩ ලබා දෙමින් මූල්‍ය වංචාවල නියැළෙනවා. අද වන විට මේ වගේ අපරාධ ප්‍රමාණයන් විශාල ලෙස ඉහළ ගිහින් තිබෙනවා. මේ බොහෝ දේවලට මූලික කරුණ බවට පත්ව තිබෙන්නේ එවැනි දේ පිළිබඳ පුද්ගල දැනුම්වත්භාවය අඩු මට්ටමක තිබීමයි.
අද විවාහ යෝජනා පවා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වෙනවා. ඒ තරමටම අද සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය ජනතාව අතර මුල් බැසගෙන තිබෙනවා. අද මෙරට ජනගහනයෙන් සියයට හැටකට කිට්ටු ප්‍රමාණයක් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතයට යොමු වෙලා ඉන්නවා. මෙහිදී වයස් ප්‍රමාණ අනුව ගත්තාම මෙම මාධ්‍ය භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතයේ වෙනසක් තියෙනවා. එහෙත්, සමස්තයක් විදිහට මෙම ප්‍රමාණය ගත්තාම සැලකිය යුතු ප්‍රමාණයක්. ඒත්, අප මේ මාධ්‍ය පිළිබඳ ළඟ ඇසුරක් තිබුණාට ඒවා නිසි විදිහට භාවිතා කිරීම පිළිබඳව තිබෙන අවබෝධය නැතිනම් සාක්ෂරතාව ප්‍රමාණවත් ද කියන ගැටලුව මතුව තිබෙනවා. අද ගොඩක් අය විවිධ අපහසුතාවලට මුහුණ දෙන්නේත්, සමාජ මාධ්‍ය භාවිතය වරද්දා ගන්නේත්, සමාජ මාධ්‍ය වංචාවලට හසුවෙන්නේත් අවබෝධය නැතිකම නිසයි. ඒ නිසා මූලිකව මේ දේවල් ගැන අවබෝධය ඇති කරගෙන වැඩ කළ යුතුයි.
• ඔබ සඳහන් කළ ප්‍රධාන කරුණක් බවට පත්ව තිබෙන්නේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව අවබෝධයක් නොමැති බවයි, මෙහිදී අවබෝධයක් නොමැති වයස් කාණ්ඩ විදිහට හඳුන්වන්න පුළුවන් කුමන වයස් කාණ්ඩද?
අනිවාර්යයෙන්ම වයස අනුව නව මාධ්‍ය පිළිබඳ අවබෝධයේ වෙනස්කම් තිබෙනවා. අප කළ සොයා බැලීමට අනුව වයස අවුරුදු 60ට වැඩි පිරිස් අතර සමාජ මාධ්‍ය පිළිබඳ තිබෙන අවබෝධය අඩුයි. එහෙත්, වයස හැටට වැඩි පිරිසගෙන් සැලකිය යුතු පිරිසක් මේ මාධ්‍ය ආශ්‍රිතව කටයුතු කරනවා. ඒ තත්ත්වය තුළ පරිගණක රැවටිලිකරුවන් පරිගණක අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට තෝරා ගන්නවා. ඒ නිසා ඉහළ වයස් කාණ්ඩවල අය, මේ මාධ්‍ය නිතර භාවිතා කරනවා නම්, ඒ පිළිබඳව නිසි අවබෝධයක් ඇති කර ගත යුතුයි. එමඟින් තමන් අන්‍යයන්ගේ ගොදුරු බවට පත්වීම නවතා ගැනීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් විදිහට ගනිමු. මේ කරුණ, බොහෝවිට සමහරු පොදු ස්ථානවල තිබෙන පරිගණක, කාර්යාලවල තිබෙන පරිගණකවලින් මුහුණුපොතට ලොග් වෙනවා. එහිදී ඇතැම්විට ආපසු ලොග්අවුට් වෙන්නේ නැහැ. නැතිනම් තමන්ගේ මුරපදය හෙළිදරව් කර ගන්නවා. මේ නිසා විවිධ ක්‍රියාකාරකම් වගේම වෙනත් ක්‍රියා සඳහා මේවා භාවිතා කිරීම සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා මේ වගේ තත්ත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතුයි.
• නව සමාජ මාධ්‍ය, මුහුණුපොත ජීවිතයට යහපත් විදිහට යොදා ගැනීමට හැකියාවක් නැද්ද?
සමාජ මාධ්‍ය නරක පැත්ත පමණක් නොවෙයි, වැඩියෙන් තිබෙන්නේ හොඳ පැත්තයි. එහෙත්, අපි අනවබෝධයෙන් වැඩ කළොත්, මෙහි හොඳ පැත්ත පිළිබඳව අවධානය නැති වෙනවා. එහෙත්, සමාජ මාධ්‍ය කියන්නේම යහපත් ප්‍රගතිශීලී වැඩ කළ හැකි තැනක්. ඒ නිසා ඒ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. වෙනත් විදිහකට කිව්වොත්, සමාජ මාධ්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක්. මේ පිහිය හොඳ දේට වගේම නරක දේටත් යොදා ගන්න පුළුවන්. ඒ නිසා භාවිතා කරනු ලබන අප මේ පිහිය හරි දේට භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනෑ.
අද කලාකරුවන්ට, ලේඛකයන්ට, කවීන්ට මතුව ඒම පහසු වෙලා තිබෙනවා. එදා කෙනෙකුට ප්‍රධාන මාධ්‍යයක ලිපියක්, කවියක්, ගීයක් පළ කිරීම ඉතාමත් දුෂ්කර දෙයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඒත්, අද නව මාධ්‍ය අවකාශය විවෘත වීමත් සමඟ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද අංකුර කලාකරුවන්ට ලොකු ඉඩක් විවෘත වෙලා තිබෙනවා.
ඒ විතරක් නොවෙයි, හොඳ දේ සමාජය වෙත යොමු කරන්න තිබෙන පහසුම සහ දියුණුම මාර්ගය විදිහට නව සමාජ මාධ්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා අපි සමාජ මාධ්‍යවල නරකම පෙන්වා දෙමින් සිටීමට වඩා මේ නව අවකාශය තුළ ඇති කර ගන්න පුළුවන් යහපත් පැත්ත ගැන අවබෝධයෙන් වැඩ කළ යුතුයි. එමඟින් අපට සමාජ මාධ්‍ය, සමාජ යහපතට මාර්ගයක් විදිහට පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.