Home » ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීමක්

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීමක්

කුමන පක්ෂයක් නියෝජනය කළත් එම අරමුණු ඉටුකර ගන්න මා සමඟ එක්වන්න

by gayan
December 28, 2023 1:00 am 0 comment

ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුමේදී ජනපති කියයි

ට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළ ද එම අරමුණු ඉටුකර ගැනීම සඳහා මා සමඟ එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ (27) පෙරවරුවේ එක් වෙමිනි.

ඌව පළාතේ පිහිටා ඇති එකම මුස්ලිම් ජාතික පාසල වන ගුරුතලාව මුස්ලිම් ජාතික පාසල වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

සියවස් සැමරුම නිමිත්තෙන් එළිදැක්වුණු විද්‍යාලයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

විද්‍යාලයේ සියවස් සැමරුමට සමගාමීව එළිදැක්වුණු සමරු කලාපය විදුහල්පති ඒ.ඒ. සම්මුන් මහතා ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගයන්හිදී විශිෂ්ටතා දැක්වූ විද්‍යාලයීය සිසු දරුවන් වෙත පදක්කම් පැලඳවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

විද්‍යාලයේ සියවස් සැමරුමට ශුභාශිංසන එක් කරමින් සමරු ග්‍රන්ථයෙහි සටහනක් ද තැබූ ජනාධිපතිවරයා, විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා සිය සුභාසිංසන එක් කරමින් සමරු ග්‍රන්ථයෙහි සටහනක් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. මුස්ලිම් ආගමික නායකයන් ද ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, අධ්‍යාපන රාජ්‍ය අැමැති අරවින්ද කුමාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස, විදුහල්පති ඒ.ඒ. සම්මුන් මහත්වරුන් ප්‍රමුඛ පළාතේ අධ්‍යාපන නිලධාරීන්, ගුරුවරුන්, මවුපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා සිය සුභාසිංසන එක් කරමින් සමරු ග්‍රන්ථයෙහි සටහනක් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. මුස්ලිම් ආගමික නායකයන් ද ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, අධ්‍යාපන රාජ්‍ය අැමැති අරවින්ද කුමාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස, විදුහල්පති ඒ.ඒ. සම්මුන් මහත්වරුන් ප්‍රමුඛ පළාතේ අධ්‍යාපන නිලධාරීන්, ගුරුවරුන්, මවුපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, සංහිඳියාවට අදාළව මෙතෙක් නොවිසඳී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම මගේ අපේක්ෂාවයි. ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් එළැඹෙන මාර්තු මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරනවා.

රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීමට නම් ආණ්ඩුව ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා මේ වන විට ලෝකයේ රටවල සහාය ලැබී තිබෙනවා. මේ වැඩපිළිවෙළ තුළ අප ඉදිරියට ගමන් කළහොත් නියත වශයෙන්ම රට තුළ ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සමඟම රටේ අනෙකුත් ප්‍රශ්නවලට ද විසඳුම් ලැබෙනවා.

ඒ නිසා රටේ ආර්ථිකය ගොඩනැඟීමට අපට සහාය ලබා දෙන්න කියා දේශපාලන පක්ෂ ඇතුළු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටියා. නමුත් අප බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබී නැහැ. අද මේ රටේ විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. කුමන පක්ෂයකට අයත් වුවත් එම ප්‍රශ්න විසඳා ගැනීමට අපත් සමඟ එක්වන ලෙස මම එම සියලු දෙනාගෙන් නැවත ඉල්ලා සිටිනවා.

පළමු කරුණ තමයි රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම. දෙවැනි කරුණ වන්නේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම. රටක් ඉදිරියට ගෙන යෑමට නම් රටේ හොඳ ආර්ථිකයක් තිබිය යුතුයි. ඒ වගේම එක්සත් ජනතාවක් සිටිය යුතුයි. එසේම ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු විය යුතුයි.

 

සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් සියලු ජනතාව ශ්‍රී ලාංකිකයන්. අද අපේ රටේ බහුතරයක් සිටින්නේ සිංහල ජනතාව. සිංහල අනන්‍යතාව, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යෑමට අප කටයුතු කරනවා. එහිදී කිසිවිටකත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට මදිපුංචිකම් සිදු නොවිය යුතුයි. රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි. සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගියහොත් පමණයි ශක්තිමත් රටක් ගොඩනැඟිය හැකි වන්නේ.

සිංහල ජනතාවට බලපෑ ප්‍රශ්න ගණනාවකට අප මේ වන විට විසඳුම් ලබා දී තිබෙන අතර, අනෙකුත් ප්‍රශ්නවලටත් විසඳුම් ලබා දෙමින් සිටිනවා. ඒ වගේම අනෙකුත් ජන කොටස්වල ප්‍රශ්න කෙරෙහිත් ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා. යුද්ධය අවසන් වුවත් ජිනීවාහි මානව හිමිකම් කොමිසම හමුවේ තවමත් නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. එම ප්‍රශ්න විසඳීමට අවශ්‍ය පියවර ආණ්ඩුවක් ලෙස අප ගෙන තිබෙනවා.

ඇතැම් ජනතාවගේ ගම්මාන අහිමි වී තිබෙනවා. එම නිසා මම තීරණය කර තිබෙනවා. 1985 සිතියම අනුව ක්‍රියාත්මක වීමට එම සිතියම අනුව තිබෙන ගම්මාන දැන් වනාන්තරවලට යටවී තිබෙනවා නම් ඒ ගම්මානවල ජනතාවට පදිංචි වීමට ඉඩ ලබා දීමට. ඒ වගේම එහි අයිතිය එම ජනතාවට ලබා දිය යුතුයි. ඒ අනුව උතුර හා නැඟෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙනවා. ඒ අතරින් ඇතැම් පිරිස්වලට තවම එම භූමිවලට යෑමට අවස්ථාව ලැබී නැහැ. එම ගැටලු පිළිබඳ අප වෙනම අවධානය යොමු කරමින් කටයුතු කරනවා.

ඒ වගේම අතුරුදන් වූවන්ගේ ගැටලුව, වන්දි ලබා දීම් ඇතුළු මෙතෙක් විසඳුම් නොලැබුණු සියලු ප්‍රශ්න කෙරෙහි අප අවධානය යොමු කරමින් කටයුතු කරනවා. එසේම උතුරේ සහ නැඟෙනහිර ආර්ථිකය දියුණු කළ යුතුයි. සියලු ප්‍රශ්න විසඳුවත් ශක්තිමත් ආර්ථිකයක් නැත්නම් නැවත එම ප්‍රශ්න මතු වෙනවා.

ඒ වගේම කඳුකරයේ සිටින ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහිත් අප විශේෂ අවධානයකින් කටයුතු කරන බව කිව යුතුයි. ඔවුන්ට ඉඩම් ලබා දීම, අධ්‍යාපනය දියුණු කිරීම ඇතුළු අයිතිවාසිකම් ලබා දීම පිළිබඳව අප විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිළිබඳව අප අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මුස්ලිම් ජනතාව භූමදානය කිරීම පිළිබඳ ගැටලුවක් පසුගිය සමයේ මතු වුණා. කොවිඩ් සමයේ එම භූමදාන කටයුතු සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳ පසුව අනෙකුත් රටවල් තීරණ වෙනස් කළ නමුත් ලංකාවේ එම තීරණ වෙනස් කරන්න විශාල කාලයක් ගත වුණා. ඊට හේතු සොයා බලා නැවත එසේ නොවන අන්දමින් නිත්‍යානුකූලව අප එම පියවර ගන්නවා.

අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේද කියා තම තමන්ගේ ආගම් අනුව තීරණය කළ යුතුයි. ඉදිරි පෙබරවාරි, මාර්තු වන විට ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පනවා තිබූ ඇතැම් සීමා ඉවත් කිරීම අතපසු වී තිබෙනවා. ඒ පිළිබඳ අප විශේෂ අවධානයකින් කටයුතු කරනවා. පොත්පත් ගෙන්වීම, ඊජිප්තුවෙන් කථිකාචාර්යවරුන් ගෙන්වීම වැනි කරුණු කිහිපයක් තිබෙනවා. මුස්ලිම් ආගමික අධ්‍යාපනයට එය වැදගත් නිසා එම ගැටලුත් විසඳාගත යුතුයි.

මද්‍රසා පාසල් පාලනය කිරීමට නීතියෙන් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදු කෙරුණා. නමුත් එය ඉදිරිපත් කර තිබුණේ නැහැ. එය ඉතා වැදගත්. මුස්ලිම් ජනතාවට බලපාන එවැනි කාරණා රැසක් තිබෙනවා. ඒ වගේම ඇතැම් අයට විරුද්ධව පැනවූ නඩු තිබුණා. උසාවියෙන් එම නඩු විභාගයට නොගෙන ඉවත් කර තිබුණා.

ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැත්නම්, රටේ විප්ලවයක් ඇති කරන්න කියලා කියන්නේ නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි. නීතියෙන් එම ආරක්ෂාව සම්පූර්ණයෙන් සැලසිය යුතුයි. මේ කරුණු කෙරෙහි අපගේ අවධානය යොමුකර තිබෙනවා. ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශවලින් සහ නිලධාරීන්ගෙන් මම වාර්තා ඉල්ලා තිබෙනවා. ඒවා ලැබූණු පසු ලබන පෙබරවාරි වන විට සම්පූර්ණ ප්‍රකාශයක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආගමික නායකයන් සහ දේශපාලන නායකයන් හමුවී මෙම සියලු කරුණු ගැන සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් මහතා –

මෙම පාසලට ශ්‍රවණාගාරයක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ පිළිබඳ අප එතුමාට ස්තූතිවන්ත විය යුතුයි.

වසර 100ක ඉතිහාසය තුළ මෙම පාසල අධ්‍යාපනයේ කඩ ඉම් රැසක් පසුකර තිබෙනවා. දුෂ්කර පළාතක පාසලක් වුවත් මෙහි සිසුන් සැලකිය යුතු පිරිසක් උසස් අධ්‍යාපන වරම් ලැබුවා. එම ගුණාත්මක භාවය ඉදිරියටම පවත්වාගෙන යා යුතුයි. පාසලේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහ සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මාගේ සුබපැතුම් පළ කරනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා-

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලට පැමිණීම අපට විශාල ආඩම්බරයක්. එතුමා මේ ප්‍රදේශයේ පමණක් නොව සමස්ත රටේම සිසු දරුවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරනු ලබනවා.

ගුරුතලාව ප්‍රදේශයේ තිබෙන එකම ජාතික පාසල මෙම මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයයි. පාසලේ දරුවන් දක්වන දක්ෂතා අප අගය කරනවා. පාසලේ පවතින අඩුපාඩු සම්පූර්ණ කර දීමට අප බලාපොරොත්තු වෙනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ සිසු දරුවන්ට නිවැරදි අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධව විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයට ස්තුතිය පුදකර සිටිනවා.

මුස්ලිම් ආගමික නායකයන්ද, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල්, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස යන මහත්වරුන් ප්‍රමුඛ පළාතේ අධ්‍යාපන නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT