Home » අපරාධ කොට්ඨාසයට භාර වූ කතරගම මහ කපුවාට ඇප

අපරාධ කොට්ඨාසයට භාර වූ කතරගම මහ කපුවාට ඇප

නඩු විභාගය ලබන වසරේ මැයි මාසයට කල්යයි

by gayan
December 28, 2023 1:00 am 0 comment

පාතාල නායකයකු වන අංගොඩ ලොක්කාගේ දරුවාගේ අපල දුරුවීම සඳහා රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදන් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරමින් සෑම මසකම අවසන් ඉරු දින කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතු බවට තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තරිඳු සිල්වා මහතා ඊයේ (27) නියෝග කළේය.

මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ පසුගිය දිනවල අතුරුදන්ව සිටි බව කියැවුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරනු ලබන සොමිපාල ටී. රත්නායක මහතායි.

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ඊයේ පෙරවරුවේ සිය දුව හා බෑණා සමඟ පැමිණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ. එහිදී අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහුගෙන් පැයකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනිණි.

පාතාල කල්ලි සාමාජිකයකු වන අංගොඩ ලොක්කාගේ බිරිය වන අබේසිංහගේ නිසංසලා නමැති අය විසින් සිය දරුවාගේ අපල දුරු වීම සඳහා දරුවාගේ නම කොටන ලද රත්‍රං පවුම් 38ක බරින් යුතු රන් තැටියක් 2019.07.03 වැනි දින කතරගම දේවාලයට දරුවාගේ අතින් පූජා කර ඇත. එදින එම පූජාව සිදු කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක විසිනි. පසුව එය දේවාලයේ ගබඩාවේ තැන්පත් කර තිබියදී අතුරුදන් වී තිබේ. මේ සම්බන්ධයෙන් දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාට කිසියම් අයකු විසින් නිර්ණාමිකව සිදුකළ දැනුම් දීමකට අනුව බස්නායක නිලමේවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බලා තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ සිද්ධිය වූ කාලවකවානුව තුළදී දේවාලයේ කටයුතු කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක බවත් හා ගබඩා භාරකරු ලෙස කටයුතු කර ඇත්තේ ඔහුගේ මුණුබුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුරාල නමැති අය බවත්ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් 2021 ඔක්තෝබර් මාසයේදී එවකට සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වත්මනේ වැඩ බලන පොලිස්පති) දේශබන්දු තෙන්නකෝන් මහතා මඟින් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ඩී.ජේ. නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් විමර්ශන පවත්වා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබේ.

නීතිපතිවරයා විසින් සිය උපදෙස් පසුගියදා (07) කොළඹ අපරාධ කොට්ඨාසයට ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක හා ඔහුගේ බෑණා වූ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුරාල නමැති අයවලුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව පසුගියදා (11) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර කපුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කතරගමට ගිය නමුත් නිලධාරීන්ට හිස් අතින්ම යළි කොළඹ බලා ඒමට සිදු වූයේ නිවෙස් තුළ කපුවන් දෙදෙනා නොසිටීම නිසාවෙනි.

විමර්ශන නිලධාරීන්ට නිවැසියන් දන්වා තිබුණේ ප්‍රතිකාර ගැනීමට කපු මහතුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයට ගොස් ඇති බවයි.

ඒ අතරතුර ගබඩාව භාර කපු මහතා ලෙස කටයුතු කළ චූටි කපුරාල පසුගියදා (19) කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු ද සිල්වා මහතා සැකකාර කපු මහතා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසත් සෑම ඉරු දිනකම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනීසිටින ලෙසටත් නියෝග කෙරුණි.

නඩුව යළි 2024.05.13 වැනි දින කැඳවීමට නියමිතය.

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර, තිස්සමහාරාම අමිල ශ්‍රී සම්පත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT