Tuesday, May 13, 2025
Home » අස්වැන්න දෙගුණයකින් වැඩි කරන්න මහඉලුප්පල්ලමෙන් ලූනු ගොවීන්ට නව තාක්ෂණය

අස්වැන්න දෙගුණයකින් වැඩි කරන්න මහඉලුප්පල්ලමෙන් ලූනු ගොවීන්ට නව තාක්ෂණය

by gayan
December 28, 2023 1:00 am 0 comment

මෙරට ලොකු ලූනු වගාවෙන් හෙක්ටයාර එකකින් දැනට ලබන මෙට්‍රික් ටොන් 20ක අස්වැන්න මෙට්‍රික් ටොන් 40 දක්වා දෙගුණයකින් ඉහළ නැංවීම සඳහා ගොවීන්ට නව තාක්ෂණය හඳුන්වා දීමට මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ.

මේ යටතේ උසස් බීජ, බින්දු ජල තාක්ෂණය හා වැඩි අස්වැන්නක් ලබාගත හැකි වන අයුරින් වගා කිරීමට අවශ්‍ය තාක්ෂණික පැකේජයක් ගොවීන්ට හඳුන්වාදෙනු ඇත.

මෙම නව තාක්ෂණික වගා පැකේජය, 2024 වසරේ සිට 2026 වසර දක්වා කාලය තුළ හෙක්ටයාර 650කට හඳුන්වා දීමට නියමිතය. එමෙන්ම 2024 වර්ෂය තුළ ලොකු ලූනු වගා කෙරෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 4000 දක්වා ඉහළ නැංවීමට ද කටයුතු යොදා ඇති අතර ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 80,000කි. දැනට ලොකු ලූනු වගා කරන හෙක්ටයාර එකකින් ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 20ක් වන අතර මෙම ඉහළ තාක්ෂණික පැකේජය මඟින් අස්වැන්න මෙට්‍රික් ටොන් 40ක් දක්වා දෙගුණ කරගත හැකිවේ.

මෙහිදී හෙක්ටයාර එකකට රුපියල් මිලියන 2.5ක මුදලක් වැය වන අතර ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රුපියල් මිලියන 160ක මුදලක් 2024 වර්ෂය සඳහා වෙන් කර ඇත. රජය මඟින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත බීජ නිෂ්පාදනය සඳහා දී ඇති මූල්‍ය ප්‍රතිපාදනවලින් කොටසක් මෙම නව පැකේජය සඳහා වෙන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ලොකු ලූනු වගාව ව්‍යාප්ත කිරීම සඳහා 2024 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ (27) පැවැත් වූ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විණි.

අප රටේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි. නමුත් මේ වන විට අප රටේ ලොකු ලූනු වගාව පහත වැටී තිබේ. මේ තත්ත්වය නිසා මෙරට ලොකු ලූනු වගාව යළිත් ප්‍රචලිත කිරීම සඳහා මෙම නව ඉහළ තාක්ෂණික වගා පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මේ යටතේ උසස් බීජ, බින්දූ ජල තාක්ෂණය හා වැඩි අස්වැන්නක් ලබාගත හැකි වන අයුරින් වගා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන බවද මෙහිදී අනාවරණය විය.

එමෙන්ම 2024 යල කන්න‌යේදී ලොකු ලූනු වගාව සඳහා ලොකු ලූනු බල්බ කිලෝග්‍රෑම් 75,000ක් නුවරඑළියේදී වසන්තීකරණය සඳහා (බීජ හෝ පැළ, අඩු උෂ්ණත්වවලට භාජන කිරීමෙන් පුෂ්ප හට ගැනීමට උත්තේජනය කිරීම) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් යොමු කර තිබේ. මෙමඟින් සත්‍ය බීජ කිලෝග්‍රෑම් 7,500ක් ලබා ගැනීමට අපේක්ෂිතය.

මෙම ලොකු ලූනු බීජ මඟින් 2024 යල කන්නයේදී හෙක්ටයාර 2500ක ලොකු ලූනු වගා කිරීමට සැලසුම් කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2023 යල කන්නයේ ද හෙක්ටයාර 3500ක ලොකු ලූනු වගා කර තිබුණත් අස්වනු නෙළීමට පෙර එම වගාවන් වැස්සට හසුවීම නිසා නිසි පරිදි අස්වනු ලබා ගැනීමට නොහැකි වූ බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබිණි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසුවේ ලොකු ලූනු වගා කිරීමට හැකි සුවිශේෂ ඉඩම් ඇත්තේ සීමිත ප්‍රමාණයක් බැවින් ලොකු ලූනුවලින් අපේ රටට ස්වයංපෝෂිත වීමේ හැකියාවක් නැති බවයි. එහෙත් වගා කළ හැකි ඉඩම්වලින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම මඟින් 2024 වර්ෂය තුළ මෙරට ලොකු ලූනු මිල රුපියල් 200 ඉක්මවා යා නොදී පවත්වා ගැනීම සඳහා දේශීය ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට හා භෝග නායකයන්ට ඇමැතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT