“මම පොලිසියෙ ස්විමින් ටෙස්ට් එකෙන් පාස් වෙලා ඉන්නෙ කියූ ආකාෂ් මුහුදට ඇදී ගියා. මල්ලි තවත් මුහුද පැත්තට ගියා. එක පාරටම ලොකු රැල්ලක් ආවා. මම කකුල ගහලා ගොඩ පැත්තට ආවා. මාව මුහුදට ඇදිලා යනව කියල ආකාශ් මල්ලි කෑ ගැහුවා” යැයි මුහුදේ ගිලී මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පොකුණුවිට, කනේවෙල පදිංචි වෙන්නඩසාමි සෙල්වරාජ් වරුණ චාමර (අවු 24) යන අය කීය.
මෙම සිද්ධියෙන් මිය ගියේ කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ දොඩන්ගොඩ, වෙනිවැල්කැටියවත්තේ පදිංචිකරුවකු වූ ඔලුපතගේ දේශාන්ජන තරින්දනාත් රත්නායක ද සිල්වා නම් වූ 22 හැවිරිදි අයෙකි.
කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඉදිරියේ පැවති එම හදිසි මරණ පරීක්ෂණයේදී තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද කීය. මිය ගොස් ඇත්තේ මගේ යාළුවෙක්, අපි එයාට කතා කළේ ආකාශ් කියල. 25 වෙනිදට කොහේ හරි යමු කියල අපි 24 වෙනිදා කතා කර ගත්තා. ඒ අනුව 25 වෙනිදා දහවල් 1.30ට විතර ආකාශ් මල්ලී නාර්තුපානේ යාළුවෙකුගෙ ගෙදරට ඇවිත් තිබුණා. මමත් මගේ මස්සිනා කෙනෙකුත් නාර්තුපානේ ගෙදරදී ආකාශ්ව හමුවුණා.
ඊට පස්සෙ ආකාශ් මල්ලිලගෙ ගෙදර ඇවිත් කටුකුරුන්දේ අනන්තරා හෝටලය ළඟ මුහුදේ නාන්න ගියා. ආකාශ් මල්ලිට බොන්න ඕන වුණා. අපි ඒ අසල වූ රෙස්ට් එකකින් අරක්කු භාගයකුත් කොකා කෝලා බෝතලයකුත් අරගත්තා. ආකාශ් මල්ලි චුට්ටක් බිව්වා. අපි තුන්දෙනා ඉතිරි ටික හිස් කළා.
ආකාශ් මල්ලිගේ මාමා කෙනෙක් එතැනට ඇවිත් මේ හරියෙ නාන්න එපා කියල කිවුවා. ඊට පස්සෙ අපි ටිකක් එහාට ගිහින් නාන්න පටන් ගත්තා. අපි පපුව මට්ටමටවනතුරු මුහුදට ගියා. මෙතැන මුහුදට ඇදිල යන ගතියක් තියෙනවා කියල එහාට යන්න එපා කියල ආකාශ් මල්ලී අපට කිවුවා. මම පොලිසියේ ස්විමින් ටෙස්ට් එකෙන් පාස් වෙලා ඉන්නෙ කියපු ආකාශ් මල්ලී තවත් මුහුද පැත්තට ගියා. එක පාරටම ලොකු රැල්ලක් ආවා. මම කකුල ගහලා ගොඩ පැත්තට ආවා. මාව ඇදිලා යනවා කියලා ආකාශ් මල්ලී කෑ ගැහුවා. මගේ මස්සිනා ඒක දැකලා ආකාශ් දිහාට පීනලා ගිහින් ආකාශ් මල්ලිව අරගෙන ආවා. ගොඩට තරමක් කිට්ටු වෙද්දි ආකාශ් මල්ලී මගේ මස්සිනා සුරාජ්ගේ ඇඟ බදා ගත්තා. ඊට පස්සෙ දෙන්නාවම දෙපාරක් වගේ යට ගියා. ඊළඟට ආපු ලොකු රැල්ලට දෙන්නා වෙන් වුණා. සුරාජ් ගොඩට ආවා. ආකාශ් මල්ලී ඈතට ගසාගෙන ගියා. ආකාශ් මල්ලි කෑ ගැහුවා. මට පෙනි පෙනීම ඔහු මුහුදේ ගිලුනා.
එතැනට ආපු තවත් කණ්ඩායමකට මම මේ බව කිවුවා. ජීවිතාරක්ෂක භටයෙකු ඇවිත් බැලුවත් හමුවුණේ නැහැ. විනාඩි 20කට විතර පස්සෙ ඔහුව ගොඩ ගැහුවා. අපි ත්‍රීවීල් එකකින් ඔහුව රෝහලට ගෙන ගියත් අතරමඟදි තෙල් ඉවර වුණා. ඒ පාර වෙන ත්‍රීවීල් එකකින් රෝහලට ගෙන ගියා. විනාඩි 20කට විතර පසුව ඔහු මිය ගිය බව දැන ගත්තා.
මිය ගිය අයගේ පියා වන පොලිස් සැරයන් ඔලුපතගේ රුවන් රත්නායක ද සිල්වා (අවු 45) යන අයද මෙහිදී සාක්ෂි දුන්නේය. මෙහිදී ඉදිරිපත්වූ සාක්ෂි සහ කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෙද්‍ය නිලධාරි එන්.එල්.එල්. ජයසිංහ මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය මෙය මුහුදේ ගිලී ශ්වසන අවහිරවීමෙන් සිදුවූ මරණයක් බව නිගමනය කළේය. දකුණු කළුතර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ෆොන්සේකා මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (55318) සිල්වා මහතා මෙහිදී සාක්ෂි මෙහෙයවීය.
කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි