Tuesday, May 13, 2025
Home » වත්තල හෝටලයක දී පුද්ගලයකු කපා කොටා මැරූ කල්ලියේ 2ක් කොටු වෙති

වත්තල හෝටලයක දී පුද්ගලයකු කපා කොටා මැරූ කල්ලියේ 2ක් කොටු වෙති

කුඩු කල්ලි දෙකක ගැටුමක්

by gayan
December 28, 2023 1:00 am 0 comment

  • වසර 5ට ඝාතන-වෙඩි තැබීම් 10ක්

මෝදර හා මට්ටක්කුලිය ආශ්‍රීතව ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක ලෙස වත්තල ඇළකන්දේ පිහිටි හෝටලයක දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට අදාළව විමර්ශන පවත්වන වත්තල පොලීසිය ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේත් අත්අඩංගුවටගත් දෙදෙනාගේ පාර්ශ්වයේත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාලයේ ප්‍රධානීන් දෙදෙනා සිටින්නේ ඩුබායි හී රැඳී බව පොලීසිය කියයි. මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මෙම කල්ලි දෙක අතර පවතින ගැටුම් හේතුවෙන් පසුගිය වසර පහක කාලය තුළ වෙඩි තැබීම් හා ඝාතන 10කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇතැයි බුද්ධි අංශ සඳහන් කරයි.

රාගම බටුවත්තේ නිවසකට පැන පසුගිය 13 වෙනිදා නිවෙස් හිමි මාළු ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ මවටත් නිවසේ රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකුටත් වෙඩි තබා තිබුණේ මෙම ඝාතනයට පළිගැනීම සඳහා බව ද හෙළිවී තිබුණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මෝදර හා මීගහවත්තේ පදිංචි අවුරුදු 24හා 23 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.

සිද්ධියට සම්බන්ධව සැකපිට මුලින් ම අත්අඩංගුවට ලැබූ ” ශාන් ” නැමැති සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් පෑලියගොඩ මීගහවත්ත වැලි පාරේදී හෙරොයින් මිලිග්‍රෑම් 4150 සමඟ ” සංජු සමීර” නැමැති සැකකරු ඉකුත් 23දා අත්අඩංගුවට ගෙන ඇත.

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු අනුව එම සැකකරු ඝාතන සිද්ධියට සෘජුවම සම්බන්ධ වී ඇති බවට අනාවරණය කරගෙන ඇත. ඔහුගෙන් ලද තොරතුරු අනුව ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වූ “ෂෙහාන් කාවින්ද” අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3250 සමග ඉකුත් දෙසැ 25වෙනිදා මෝදරදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු බේරුවල පොලිස් වසමේ තියුණු ආයුධවලින් තුවාල කිරීමේ සිද්ධියකට ඇප පිට සිටි අයෙකි.

දුරකථන විශ්ලේෂණ වාර්තාවල සඳහන් දුරකථන අංක සහිත සිම් පත් එම සැකකරු සන්තකයේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර පසුදින දෙසැ 26 වැනිදා ” දිනුක රවිෂාන් ” යන දෙවන ප්‍රධාන සැකකරු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු වසර තුනකට පෙර කඩවත පොලීසියේ සේවය නියුතුව සිටි රියැදුරු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇප පිට සිටි අයෙකි.

ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ගෙන් ප්‍රශ්න කිරීම මත හෙළිවූ තොරතුරු අනුව ඝාතනයට යොදාගත් තියුණු මන්නා පිහි දෙකක්, එක් සැකකරුවකුගේ නිවසින් සහ අනෙක් සැකකරුගේ නිවස අසල ඇළ මාර්ගයක පඳුරක් තුළ සඟවා තිබී සොයා ගැනීමට වත්තල පොලිසිය 27දා සමත් වී ඇත.

ඇළකන්ද ඝාතනයේ මහ මොළකරු ඩුබාහි සැඟවී සිටින “රජ මල් වත්තේ චාමර” යන අයකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු විසින් අදාළ ප්‍රධාන සැකකරුවන්ගේ ගිණුම්වලට වරින් වර මුදල් බැර කර ඇති බවටද පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

අදාළ හෝටලය අයත් ” සේදවත්ත කසුන් ” හා ” රජමල්වත්තේ චාමර” යන දෙපාර්ශවය අතර කලක සිට පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ඝාතනයක් බවටත් පොලිසිය . තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අදාළ සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වත්තල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රමෝද, පොලිස් සැරයන් දසනායක ( 71335 ), පොලිස් කොස්තාපල්වරුන් වන රණවීර (94046 ), පැතුම් (103397 ), දිල්ෂාන් ( 103490 ) සහ රියදුරු චින්තක ( 17044 ) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවති.

ගයාන් කුමාර වීරසිංහ වත්තල විශේෂ – ජෝශප් පයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT