ගාසා තීරයේදී පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන බෝම්බ ප්‍රහාර හෙළා දකිමින් සිය ක්‍රිකට් පිත්තේ සාමය සම්බන්ධ පණිවුඩයක් සටහන් කර ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතකින් යුතුව කටයුතු කරන බවට ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා චෝදනා එල්ල කර තිබේ. පාකිස්තානයේ උපන් කවාජා ගාසා තීරයේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පාකිස්තානය සමඟ පසුගියදා පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුර කළු පටියක් පැලඳ ක්‍රීඩා කිරීම සහ දෙවැනි ටෙස්ට් තරගයේදී සිය ක්‍රිකට් පිත්තේ ‘නිදහස යනු මානව අයිතියක්’ බව සහ ‘සෑම ජනවර්ගයක්ම එක හා සමානයි’ පණිවුඩ සටහන් කරමින් ක්‍රීඩා කිරීම අයිසීසීයේ තහනමට ලක් විය.
සමාජ මාධ්‍ය ජාලයට සටහනක් තබමින් කවාජා ප්‍රකාශ කර ඇත්තේ සෙසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් එවැනි ආගමික හෝ ජනවාර්ගික සම්බන්ධතා ඇති පණිවුඩ හෝ සංකේත පිටියේදී ප්‍රදර්ශනය කිරීම පිළිබඳ අයිසීසීය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවය. බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරන්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක කේෂව් මහරාජ් සහ ඔස්ට්‍රේලියානු පිලේ ඔහුගේ සගයකු වන මානස් ලබුස්චේන්ට එවැනි සංකේත සිය ක්‍රිකට් පිත්තේ සටහන් කරමින් ක්‍රීඩා කිරීම අයිසීසීයේ අනුමැතිය ලැබී ඇතැයි කවාජා ප්‍රකාශ කර තිබේ. දැඩි ක්‍රිස්තියානු භක්තිකයන් වන පූරන්ගේ සහ ලබුස්චේන්ගේ ක්‍රිකට් පිතිවල කුරුසයේ ලාංඡනය සහ බයිබල් පාඨ සටහන් කර ඇති අතර, දැඩි හින්දු භක්තියකු වන මහරාජ්ගේ ක්‍රිකට් පිත්තේ ‘ඕම්’ සලකුණ සටහන් කර තිබේ.
ෆවුස් මොහොමඩ්