අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර පසුගියදා නිත්තවෙල පැවති තරගය අතරතුර ප්‍රධාන විනිසුරුවරයා සහ පැතිවිනිසුරුවරුන් අතින් වැරැදි ගණනාවක් සිදු වී ඇති බව තරගාවලියේ සමාලෝචන කමිටුවේ නිරීක්ෂණයට ලක් වී ඇතැයි වාර්තා වේ. එම නිරීක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ මහනුවර ක්‍රීඩා සමාජයට ලකුණු 33-19ක ජයක් හිමි වූ එම තරගයේදී විනිසුරුවරයා විසින් දෙනු ලැබූ ඇතැම් තීන්දු සම්බන්ධව මතු වූ ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් එම තොරතුරු සහ වීඩියෝ පට සාක්ෂි ඇතුළත්ව පොලිස් ක්‍රීඩා සමාජය විසින් තරගාවලියේ නිරීක්ෂණ කමිටුවට පසුගියදා යොමු කරනු ලැබූ ලිපියට ප්‍රතිචාර දක්වමිනි.
සභාපති රොෂාන් ඩීන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ලීග් රග්බි තරගාවලියේ සමාලෝචන කමිටුව එහි සාමාජික ටෝනි අමිත් සහ ෂූම් තාක්ෂණයෙන් ඊට එක් වූ සෙසු සාමාජික අනිල් ජයසිංහ පසුගියදා ශ්‍රී ලංකා රග්බි ආයතනයේදි මේ සම්බන්ධව දැඩි නිරික්ෂණයට ලක් කර ඇති අතර, එහිදී සමාලෝචන කමිටුවේ සභාපති රොෂාන් ඩීන්ගේ අත්සනින් යුතුව තරගාවලි කමිටු සභාපති ෂම්රාත් ප්‍රනාන්දුට සහ රග්බි ආයතනයේ තරගාවලි කමිටුවේ සභාපති රියර් අද්මිරාල් එච්.ඒ.යූ.ඩී.හෙට්ටිආරච්චිට එම නිර්දේශ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ එම තරගයේදී විනිසුරුවන් විසින් ගනු ලැබූ වැරදි තීරණ රැසක් අනාවරණය වූ බවය. එබැවින් ප්‍රධාන විනිසුරුවරයාගේ සහ පැති විනිසුරුවරුන්ගේ තරග මුදල 50% කින් අඩු කිරීමක් කරන ලෙසත්, මේ පිළිබඳ රග්බි තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමයට දැඩි ලෙස අවවාද කරන ලෙසත් නිර්දේශ කර තිබේ. එමෙන්ම ඉදිරි තරගවලදී නැවත මෙවැනි සිදුවීමක් වාර්තා වුවහොත් එම සංගමයේ තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් ඉදිරි තරගාවලි සඳහා සලකා නොබැලිය යුතු බවත් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු විසින් සිදු කරනු ලැබූ නීති විරෝධී බාධා කිරීමක් සංඥා නොකිරීම සහ ඒ සඳහා දඬුවම් පහර අවස්ථාවක් පොලිස් පිලට ලබා නොදීම, නීත්‍යනුකූල බාධා කිරීමක් ඉක්මනින් නිදහස් නොකිරීම හේතුවෙන් පොලිස් පිලට දඬුවම් පහර අවස්ථාවක් ලබා නොදීම, මහනුවර පිලේ ක්‍රීඩකයකු විසින් ඕෆ් සයිඩ් දිශාවෙන් පැමිණ පොලිස් පිලේ ක්‍රීඩකයකුට සිදු කරනු ලැබූ බාධා කිරීමක් හේතුවෙන් පොලිස් පිලට උත්සාහක දිනුමක් පිරි නැමීමට කටයුතු නොකිරීම සහ ඒ සම්බන්ධව මහනුවර පිලේ ක්‍රීඩකයාට කහ කාඩ්පතෙන් අවවාද නොකිරීම, මහනුවර පිලේ ක්‍රීඩකයකුගේ තවත් නීති විරෝධී ස්ථානගතවීමක් හේතුවෙන් පොලිස් පිලට නිදහස් පහරක අවස්ථාවක් ලබා නොදීම වශයෙන් කරුණු රැසක් මෙහිදී සමාලෝචන කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වේ.
ෆවුස් මොහොමඩ්