ඔලිම්පික් ක්‍රීඩාවලට අදාළ ක්‍රීඩා සංගම් 30ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහා සභා රැස්වීම අද ඔලිම්පික් නිවහනේදී පැවැත්වෙයි. මෙහිදී ඔලිම්පික් ආචාරධර්ම කමිටුවේ ක්‍රියා කලාපය සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් යොමු කිරීමට ක්‍රීඩා සංගම් කිහිපයක නියෝජිතයෝ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.
ඔලිම්පික් ආචාරධර්ම කමිටුව වෙත යොමු කොට ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් එම කමිටුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත අතර, සාධාරණ පිළිතුරක් නොළැබුණහොත් විශ්වාසය කඩ කිරීමේ යෝජනාවක් ගෙන එන බව එම නියෝජිතයෝ පවසති.
මෙයට මාස කිහිපයකට පෙර විධායක මණ්ඩල සාමාජිකයින් වෙත ලිපියක් යොමු කරමින් ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා, එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට එරෙහිව විරෝධතා යොමු කොට තිබූ අතර, එම ලිපියෙන් දැනුම්දී ඇත්තේ ආසියානු ඔලිම්පික් කමිටු සභාපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී සුබ්‍රමනියම් මහතා ක්‍රියා කළ ආකාරය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට බලපෑම් ඇති කළ බවය.
ආසියානු ඔලිම්පික් සභා රැස්වීමේදී එක් අපේක්ෂකයෙකුට වාසි සහගත ලෙස කටයුතු කිරීමට යෑමේදී මැක්ස්වෙල් ද සිල්වා මහතා විසින් එම සභාව වෙත රීති ප්‍රශ්නයක් යොමු කිරීමට සූදානම් වූ බවත් එවිට ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා තමන්ට තර්ජනය කර බලහත්කාරයෙන් මයික්‍රෆෝනය අල්ලා බිම හෙළූ බවත් ලිපිය මඟින් පවසා ඇත. එය බොහෝ රටවල නියෝජිතයින් දුටු බවත්, පසුව පැය දෙකකට පසු එම සිද්ධිය ආසියානු ඔලිම්පික් කමිටු සභාපති වෙත වාර්තා කළ බවත් ලිපියේ සඳහන් කොට ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තුන් ප්‍රයාම ජාතික ක්‍රීඩා සංගමය හා ටයිකොන්ඩෝ ජාතික සංගමය ජාත්‍යන්තර ඔලිම්පික් ආචාරධර්ම කමිටුවට ලිපියක් යොමු කළ අතර, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා හා එහි උප සභාපති සුරංජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජාතික ඔලිම්පික් කමිටු ආචාරධර්ම කමිටුව මඟින් පරීක්ෂණයක් ඉල්ලා සිටියහ. එම පරීක්ෂණයේ ප්‍රතිළුල කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටු ආචාරධර්ම කමිටුව වෙත යළිත් වරක් ඔලිම්පික් කමිටු ලේකම්වරයා හා උප සභාපතිවරයා අවධාරණය කොට තිබේ.
මෙම ප්‍රශ්න සහගත සිද්ධියේදී ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ නිලවරණයට සහභාගි වූ අපේක්ෂක හුසේන් මුසල්ලාම් මහතාගෙන් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ගුවන් ටිකට්පත් 100ක් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) මැදිහත් වීමක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තුන් ප්‍රයාම ජාතික ක්‍රීඩා සංගමය හා ටයිකොන්ඩෝ ජාතික සංගමය ජාත්‍යන්තර ඔලිම්පික් ආචාරධර්ම කමිටුව වෙත යැවූ ලිපිවල සඳහන් වේ.
ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ නිලවරණයට සුරේෂ් සුබ්‍රමනියම් මහතා අනිසි මැදිහත්වීමක් සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධ ජාත්‍යන්තර ඔලිම්පික් ආචාරධර්ම කමිටුව යම් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සදහා වන ලිඛිත හා වාචික සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා තුන් ප්‍රයාම ජාතික ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබේ.
කෙසේ වුවද ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙම සියලු සිද්ධි ප්‍රතික්ෂේප කළේය.