මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර රාජ්‍ය පොහොර සමාගම් දෙකක් වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙතෙක් තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ලංකා තේ මණ්ඩලය විසින් තේ වගාකරුවන් වෙත පුද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා ණය මුදලක් ලබා දුන් අතර ඒ සඳහා වැඩි මිලක් ගෙවීමට තේ වගා කරුවන්ට සිදුවිය. ඇතැම් තේ වගා කරුවන් පොහොර නොයොදා එම මුදල් වෙනත් කටයුතුවලට යොදවන බවට ද වාර්තා විය.
මෙරට තේ වගාව සඳහා වාර්ෂික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 40,000කි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6800ක් පමණ වේ.
මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති අතර එම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයන්ත එදිරිසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියහ.
තේ වගාවෙන් නිසි අස්වැන්නක් ලබා ගැනීමට නම් විදිමත් පරිදි පොහොර යෙදිය යුතු නමුත් ඇතැම් තේ වගාකරුවන් පොහොර නොයෙදීම නිසා එම තේ වගාවන්ගෙන් නිසි අස්වැන්නක් නොලැබෙන බව ද ලංකා තේ මණ්ඩලය පෙන්වා දුන්නේය.
රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් මේ වනවිට තේ සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර නිෂ්පාදනය සිදු කරන අතර එම සමාගම් දෙක මගින් තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
රජයට අයත් පොහොර සමාගම් විසින් අවම මිලක් යටතේ පොහොර ලබා දෙන නිසා දැනට රුපියල් 15,000කට පමණ පුද්ගලික අංශය විසින් අලෙවි කරන තේ සඳහා වන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීමට ඉන් ඉඩකඩ සැළසෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අනුව ලංකා තේ මණ්ඩලය හා රජයට අයත් පොහොර සමාගම් දෙක අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් අනතුරුව අඛණ්ඩව තේ වගාවට අවශ්‍ය පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.