නිදහසින් පසු පීලි පැන තිබූ මෙරට ආර්ථිකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් 2023දී නැවත නිවැරැදි පීල්ල මත තැබූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (02) පැවැසීය.
ලැබූ නව වසර ඉතා තීරණාත්මක වසරක් වන අතර, දැනට පවතින ආර්ථික අභියෝගය 2027 වසර දක්වා පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ 2024 අවසන් වන තෙක් අකුරට පිළිපැදීමෙන් අර්බුදය අවම කරගත හැකි බවත් හෙතෙම කීවේය.
ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළොත් කවුරු ආණ්ඩු කළත් කුමන ජනාධිපතිවරයෙක් සිටියත් ඒ ආණ්ඩුවේ පරමායුෂ සති දෙකකට සීමා වන බව ද ඇමැතිවරයා කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ණය හිමියන් සමඟ ඇති කරගත් එකඟතාවකින් තොරව රටේ ආර්ථිකය දවසක්වත් දිව නොහැකි බව ද ඒ මහතා පැවැසීය.
ලෝක සම්මත නීතිරීති සහ මූල්‍ය විනයට යටත්ව රටක් ලෙස අප මූල්‍ය වෙළෙඳපොළට ගොස් බැඳුම්කර නිකුත් කර ණයක් ඉල්ලුවද 2027 වසරේදී ලබාගත හැකි උපරිම ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1500ක් පමණක් බව ද ගුණවර්ධන මහතා කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
“2024 වසර අපේ රටේ තීරණාත්මක වසර ලෙස මම දකිනවා. නිදහසින් පසු පුරා වසර හැත්තෑ ගණනක් තුළ රට පත්වෙච්ච තත්ත්වය තුළින් නැවත රට ගොඩට අරගෙන පීලි පැනල තිබුණු ආර්ථිකය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් පීල්ල මත තබලා තිබෙනවා. එහෙත් ප්‍රධානම අභියෝගය ඉදිරි වසර තුන හතර සඳහා පවතිනවා. 2027 වන තෙක් ලංකාවේ කුමන ජනාධිපතිවරයෙක් සිටියත් කවර ආණ්ඩුවක් තිබුණත් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළට ගිහින් ණයක් ලබාගන්න අපිට බැහැ. ලෝක සම්මත මූල්‍ය නීති රීති හා විනයන්ට යටත්ව රටක් වශයෙන් අපට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ගිහිල්ලා බැඳුම්කරයන් නිකුත් කරලා ණයක් ඉල්ලන්න පුළුවන්. 2027 වසරේදී ඒත් ලබාගත හැකි උපරිම ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1500යි. බිලියන 1.5යි. ඒ නිසා 2024 මේ ලබපු වසරත් 2025, 2026 සහ 2027 කියන වසරත් සකස් කරගෙන තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විදේශීය ණය හිමියෝ සමඟ ඇති කරගත් එකඟතාවයෙන් දශමයක් හෝ වෙනස් කර ආණ්ඩුවක් කරන්න පුළුවන් නම් එම ආණ්ඩුවේ උපරිම කාලය සති දෙකක් පමණක් වන බවයි මගේ පුද්ගලික අදහස. ඊට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතුව ලෝක බැංකුව නැතුව, ආසියානු සංවර්ධන බැංකුව නැතුව, ණය හිමියෝ සමඟ එකඟතාවකින් තොරව රටේ ආර්ථිකය දවසක්වත් දුවන්න බැහැ. විශාල ලෙස ආනයනය මත රඳා පවතින ආර්ථිකයක් තිබෙන අපේ රටේ ඛනිජ තෙල්, පොහොර, ඖෂධ, රසායනික ද්‍රව්‍ය, සහල්, පිටි, සීනි, අල, ලූනු, මිරිස්, පරිප්පු වැනි පරිභෝජන භාණ්ඩත් යන්ත්‍ර සූත්‍ර මෝටර් රථ වාහන වැනි ප්‍රාග්ධන භාණ්ඩත් අප ආනයනය කරන්න ඕනෑ. ඒ ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය සංචිත මත පදනම් වූ ණයවර ලිපියක් නිකුත් කරන්න ඕනෑ. ණයවර ලිපියක් නිකුත් කරන්න ජාත්‍යන්තර සංචිත ප්‍රමාණවත් නැත්නම් ලෝක වෙළෙඳපොළ තුළ ලෝක ආර්ථිකය තුළ ඒ පවතින ක්‍රමවේදයන් තුළ ණයවර ලිපිය ලෝකයේ අනෙක් රටවල බැංකු පිළිගන්නේ නැහැ. එවැනි තත්ත්වයක් මීට වසරකට පෙර අපේ රටට ඇති වුණා. අපිට ඛනිජ තෙල් නැහැ, පොහොර නැහැ, ගෑස් නැහැ, රසායනික ද්‍රව්‍ය නැහැ, කන බොන දේවල් නැහැ, කිසිදු දෙයක් නැතුව එම ආර්ථිකය සති දෙකක්වත් යන්න බැහැ. එම නිසා ලැබූවා වූ නව වසරෙත් මේ තිබෙන සියලු ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙමින් රට වෙනුවෙන් කළ හැකි උපරිම කැපකිරීම් කරමින්, වැඩි වැඩියෙන් වැඩ කරන්න අවශ්‍යයි.”