Home » එක හැඳුනුම්පතට සිම්කාඩ් 1,191ක් නිකුත් කරලා

එක හැඳුනුම්පතට සිම්කාඩ් 1,191ක් නිකුත් කරලා

-දුරකතන සමාගමට වාරණ නියෝගයක්

by sachintha
January 3, 2024 12:07 am 0 comment

මීගමුවේ පදිංචි පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත යටතේ ඔහුගේ අනුදැනුමකින් තොරව බාහිර පාර්ශ්වයන්ට සිම්පත් 1,191ක් නිකුත් කළ ජංගම දුරකතන සමාගමකට එරෙහිව කොළඹ දිසා අධිකරණය ඊයේ (02) වාරණ නියෝගයක් නිකුත් කළේය. මීගමුව, කුරණ පදිංචි ජේ.එම්. ගාමිණි නමැති 75 වියැති රියැදුරකු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය ප්‍රකාශ කළේය.

ඇල්ල පොලිසියෙන් ලැබුණු කැඳවීමකට අනුව සිය සේවාදායකයා එහි ගිය බවත් ඔහුගේ ජාතික හැඳුනුම්පත යටතේ නිකුත් කළ සිම්පතක් භාවිත කර අපරාධමය වරදක් සිදු කර ඇති බව එහිදී දැන ගැනීමට ලැබුණු බවත් පැමිණිලිකරුගේ නීතිඥයා අධිකරණයට දැන්වීය. එම පරීක්ෂණයේදී සමාගමෙන් දුරකතන වාර්තා කැඳවීමේදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව සිම්පත් විශාල සංඛ්‍යාවක් වෙනත් තැනැත්තන්ට නිකුත් කර ඇති බව දැන ගැනීමට ලැබුණු බව පැමිණිල්ල වැඩිදුරටත් සඳහන්ව ඇත.

ජංගම දුරකතන නියාමන රෙගුලාසි අනුව එක් තැනැත්තකුගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ උපරිම වශයෙන් නිකුත් කළ හැකි සංඛ්‍යාව සිම්පත් 5ක් වුවත් එම නියමයට පටහැණිව සිම්පත් නිකුත් කිරීම හා හිමිකරුගේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත් කිරීමෙන් පැමිණිලිකරු යම් වරදකට පාර්ශ්වකරුවකු වීමේ හැකියාවක් තිබෙන බව නඩු විභාගයේදී කරුණු දැක්විණි. පැමිණිල්ලේ නීතිඥ සඳුන් සේනාධිපති කළ කරුණු දැක්වීම පිළිගත් අධිකරණය අදාළ සම්පත් භාවිතය වළක්වන වාරණ නියෝගයක් නිකුත් කළේය.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT