ලබන යල කන්නයේදී රසායනික පොහොර සඳහා VAT බදු ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
මේ සම්බන්ධව ජනාධිපතිතුමන් සමඟ තමන් සාකච්ඡා කළ බවත් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඒ සඳහා ජනාධිපතිතුමන් ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙන බවත් ඇමැතිවරයා කියයි. මෙවර මහ කන්නයේ වගා සඳහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වන විට රට තුළට ගෙන්වා ඇත්තේ පැරණි මිල ගණන්වලට වන අතර, ඒ සඳහා වැට් බදු අය කිරීමක් සිදු කර නැත. එහෙයින් දැනට රට තුළ අලෙවි කරන යූරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නැති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
මෙම වැට් බදු පැනවීම හේතුවෙන් පොහොර මිල ඉහළ යෑමක් සිදු වනු ඇතැයි ගොවීන් නිරන්තරයෙන් තමාගෙන් විමසීම් සිදු කරන බවත් මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය සියලු පොහොර මේ වන විට රටට ආනයනය කර ඇත්තේ පැරණි මිල ගණන්වලට බැවින් මෙවර මහ කන්නය සඳහා ඉදිරියට අලෙවි වන පොහොරවල මිල වැඩි වීමක් සිදු කළ නොහැකි බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි. වැට් බදු යැයි කියමින්, කූට වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ පොහොර අලෙවි කරන්නේ නම් ඔවුන්ගෙන් බිල්පතක් ලබාගන්නා ලෙස ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. එම බිල්පත කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්නේ නම් එම වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. “කෘමිනාශක හා වල්නාශක මිල ඉහළ යෑම පාලනයට අපි අපේ රජයට අයත් පොහොර සමාගම් දෙක හරහා අවම මිලක් යටතේ පළිබෝධනාශක අලෙවි කිරීම ආරම්භ කරනවා. ඒ අනුව ඉදිරියේදී පළිබෝධනාශක හිතු හිතු ගණන්වලට අලෙවි කිරීම නැවැත්වීමට අප පියවර ගන්නවා” යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ සූරියවැව විහාරගල ගම්මානයේ ගොවි පවුල් සඳහා පොල් පැළ බෙදා දීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.
බුද්ධිකා ඉඹුලාන