Home » නව බදු ලියාපදිංචි වීම් ගැන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙන මාර්ගය

නව බදු ලියාපදිංචි වීම් ගැන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙන මාර්ගය

by chanaka
January 3, 2024 4:04 pm 0 comment

බදු ජාලය පුළුල් කිරීම සහ වැඩි පිරිසක් බදු ගෙවීම ක්‍රියාවලියට ග්‍රහණය කර ගැනීමේ ප්‍රධාන සාධකය වන්නේ බදු ගෙවීම සඳහා ඇතුළත් වීමේ ක්‍රියාවලිය සරල කිරීම බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

එහි සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මෙනෙවිය සඳහන් කරන්නේ ඒ සඳහා ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

බදු අංකයක් ලබා ගන්නා සෑම කෙනෙකුම බදු ගෙවීමට යටත් නොවන බව තහවුරු කිරීම මගින් ද බදු අංක ලබා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වන බව තමා සතු ජාත්‍යන්තර අත්දැකීම් අනුව තහවුරු කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.

විග්නරාජා මෙනෙවිය මේ අදහස් පළ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග අද (03) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුව දී ය.

එහි දී ඇය වැඩි දුරටත් සඳහන් කළේ බංගලාදේශය තුළ බදු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන බවයි. කලක් දූෂිත බවට චෝදනා ඉල්ල වී තිබූ එරට රජයේ ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය සහ දිස්ත්‍රික් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීම මගින් වඩාත් ඵලදායී කාර්යක්ෂම ආයතනයක් වූ බව ඇය පෙන්වා දෙයි.

දිස්ත්‍රික් මට්ටමේ කාර්යාලවල සිට අද වන විට ප්‍රාදේශීය මට්ටම දක්වා විහිදී ගිය ඩිජිටල්කරණයට ලක් වූ කාර්යාල ජාලයක් මගින් එරට බදු ක්‍රියාවලිය සිදු කෙරන බව ඇය පෙන්වා දුන්නා ය. මෙහි දී මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා කියා සිටියේ බදු ජාලය ඩිජිටල්කරණය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි. එසේ ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය පුළුල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පැවැසීය. ඉතාම අසීරු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිතරව සිටන අවස්ථාවක කිසිදු පාර්ශ්වයක් වෙත විශේෂ සහන ලබා දීමේ අවස්ථාවක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කිසියම් සංශෝධනයක් සිදු කළ හැක්කේ රට ශක්තිමත් ස්ථාවරයකට පැමිණීමෙන් පසුව බවයි.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී පිළිගත් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් ලබා දුන් සහය අතිශය අගය කරන බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය. විශේෂයෙන් ම බදු ක්‍රියාවලිය සහ වැට් බද්ද පිළිබඳ සමාජය තුළ ඇති වී තිබෙන සංවාදය මෙහි දී ගැඹුරු ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් වැට් බද්දට යටත් නොවන භාණ්ඩ හඳුනා ගැනීමේ අපහසුව සහ ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් සිය ලාභය අරමුණු කරගනිමින් සිදු කරන සදාචාරාත්මක නොවන කටයුතු පිළිබඳ ද මෙහි දී අවධානයට ගැණිනි. කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් තව දුරටත් නව වැට් සංශෝධනය, නව ලියාපදිංචි කිරීම් සහ වැට් බද්දට යටත් නොවන භාණ්ඩ පිළිබඳ වඩාත් පුළුල් දැනුවත් කිරීමට ජනතාව වෙත ලබා දිය යුතු බව මෙහි දී අවධානයට ලක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT