ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අනිද්දා (07) සිට 13 වැනිදා දක්වා රට පුරා ක්‍රියාවට නංවන බව ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ‘දිනමිණට’ ඊයේ (04) පැවසීය.
මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට අවශ්‍ය උපදෙස් ජනතාවට ලබා දෙමින් මදුරුවන්ගෙන් තොර පරිසරයක් නිර්මාණය සඳහා ජනතාව උනන්දු කරවීම 07 වැනි ඉරිදා දින සිදු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉරිදා හැර ඉතිරි දින හය තුළදී දින තුන බැගින් බෙදා මුල් දින තුන තුළදී අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 35කත් ඊළඟ දින 3දී ඉතිරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 35ත් ලෙස අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70 තුළ විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන්නේ යැයි ද හෙතෙම පැවසීය.
අවදානම් සහිත ගම් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හඳුනාගෙන තුන්දෙනා බැඟින් වූ කණ්ඩායම් පිහිටුවා මදුරුවන් බෝ වන ස්ථාන තිබුණොත් ඒ ස්ථාන භාර පුද්ගලයන්ට උපදෙස් දී මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.
මේ මස 10 වැනි බදාදා හා 13 වැනි සෙනසුරාදා නිවාස පරීක්ෂාවට ද 08, 09, 11, 12 දිනයන්හි පොදු ස්ථානයන් පරීක්ෂාවට ද සැලසුම් කර ඇති බවත් ඒ සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු කණ්ඩායම් ඒකාබද්ධව කටයුතු කරන බවත් ඒ මහතා පැවසුවේය.
මෙම ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.