මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තුවක් දුන්නේ යැයි ඇති වූ සැකයක් මත වැල්ලම්පිටිය සේදවත්තේදී පාතාලයේ වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම්. සන්මුගන් නොහොත් තමිබිරාජා නමැති පුද්ගලයා මියගොස් ඇත.
ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කොලොන්නාවේ සුදු මහත්තයා සහ ඔහුගේ බිරිය ඝාතනය සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයා පොලිසියට හසුවී ඇති අයකු බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මට්ටක්කුලිය බ්ලූමැන්ඩන් කේන්ද්‍ර කරගෙන කොළඹ පාතාලයේ ප්‍රබලයකු ලෙස ක්‍රියාකාරීව සිටි ප්‍රින්ස් කොලම්ගේ ගෝලයකු ලෙස ද මොහු කලක් කටයුතු කර ඇති අයකු බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇත. ප්‍රීන්ස් කොලම් බ්ලූමැන්ඩල් කසළ කන්ද පාමුල ඇති ඔහුගේ රාජධානියේදී නාඳුනන කල්ලියක වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා වෙනත් කල්ලියකට සම්බන්ධව සිට පසුව පාතාල කල්ලිවලින් මිදී සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිට ඇති බවට තොරතුරු ද ඇත.
වැල්ලම්පිටිය සේදවත්ත සිරිපාල පින්තු මාවතේ පදිංචිව සිටින ඔහුට වෙඩි තබා තිබුණේ පසුගිය 31 වැනිදා යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවෙකි.
වයස අවුරුදු 48ක් වන ඔහු සිය නිවෙස ඉදිරිපිට සිටියදී නාඳුනන පුද්ගලයකු පැමිණ වෙඩි තබා දිවගොස් තවත් පුද්ගලයකු විසින් පදවාගෙන පැමිණි යතුරුපැදියක නැඟී පලාගොස් ඇති බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම වෙඩි තැබීමට ආධාර හා අනුබල දුන්නේ යැයි සැක කරමින් සමන් නමැති මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ, සහෝදරිය හා ගෝලයෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.